2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

ජිනීවා සමුළුවට පෙර නව ව්‍යවස්ථාව ඉල්ලති

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 10:52 130


ලබන මාර්තුවේ ජිනීවා මානව හිමිකම් කොමිසම රුස්වීමට පෙර ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ප්‍රකාශයට පත් කළ යුතු යැයි ප්‍රබල රටවල් ගණනාවක් රජයට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

මෙසේ ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපා රටවල් ගණනාවකි. රජය ව්‍යවස්ථා කෙටුම්පත ප්‍රකාශයට පත් කොට ඉදිරියට සාධනීය පියවර ගන්නා බව තහවුරැ කළහොත් මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැංවීමට ලබාදී තිබූ කාලය තවත් වසරකින් පමණ කල් දැමීමට එම ප්‍රබල රටවල් අපේක්ෂා කරන බවද සඳහන්ය.

සුළු ජාතීන්ගේද අභිලාෂයන් ඉටුවන ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය, යුද සමයේ සිදුවූ කරුණු විමර්ශනයට සත්‍ය සෙවීමේ කොමිසමක් ස්ථාපිත කිරීම, යුද්ධයේ අවසාන භාගයේ සිදුවූ දෑ ගැන විමර්ශනයට අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම වැනි නිර්දේශ ගණනාවක් මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබේ. ඒවා ක්‍රියාවට නැංවීම පිණිස ලබන මාර්තු මස දක්වා කල් ලබාදී තිබිණි. ඒ අතර පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබුණේ ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනයේ සහාය ලබාගෙන අප රටට මානව හිමිකම් කොමිසමෙන් එල්ල වී තිබෙන බලපෑම්වලින් නිදහස ලබාගැනීමට හැකියාවක් ඇතැයි සිතන බවය.

දේශපාලන වාර්තාකරු I