2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

මම අාවේ හොරෙන් නොවේ - එම්මෑනුවෙල් පියතුමා

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 257

I රජිත ජාගොඩ ආරච්චි

තමාගේ ශ්‍රී ලංකා සංචාරය කිසිදු ආකාරයේ රහසිගත සංචාරයක් නොවන බවත් තමාට ශ්‍රී ලංකාවට පැමිණ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිහිපවිටක්ම තමාගෙන් ඉල්ලා සිටි බවත් ගෝලීය දෙමළ සංසදයේ සභාපති එස්.ජේ. එම්මෑනුවෙල් පියතුමා දේශයට පැවසීය.

මේ දිනවල ඔහු ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාරය පිළිබඳ දේශය කළ විමසුමකදී හෙතෙම මේ බව කියාසිටියේය. 
2015 ජනවාරි මස සිදුවූ ආණ්ඩු පෙරළියෙන් පසු තමා ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරය මෙය බව කී එම්මෑනුවෙල් පියතුමා සඳහන් කළේ මෙවර සංචාරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයින් රැසක් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ද හමුවී සාකච්ඡා පැවැත්වූ බව ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සමුළුව වෙනුවෙන් කාර්යබහුලව හුන් නිසා ජනාධිපතිවරයා මුණගැසීමට නොහැකි වූ බව ද ඔහු කීය. 

ලංකාවේ බොහෝ මාධ්‍ය තමා ගැන වැරදි පුවත් මවමින් සිටිය ද තමා සිංහල ජනතාවට එරෙහි පුද්ගලයකු නොවන බව කී පියතුමා වැඩිදුරටත් පැවසූයේ මහනුවර මහ නායකවරුන් සමඟ පවා ඉතා හොඳ සම්බන්ධයක් තමන්ට පවතින බව ය. තම ශිෂ්‍යයන්ට බුදුදහම පිළිබඳ දේශනා පැවැත්වීමට තමා වරෙක නායක හිමිවරුන්ගෙන් සහාය ලබාගත් බව ද ඔහු පැවසීය. එමෙන්ම තමාගේ ගෝලයන්වන කතෝලික පූජකවරු 400ක් පමණ දකුණේ පල්ලිවල සිටින බව ද ඔහු කීය. 
යාපනයේ උපත ලැබූ එම්මෑනුවෙල් පියතුමා 1997 වසරේදී ශ්‍රී ලංකාවෙන් පිටව යෑමෙන් පසු වාසය කරන්නේ ජර්මනියේ ය. ඔහු 2010 වසරේ සිට විදෙස්ගත ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ප්‍රමුඛතම සංවිධානය සේ සැලකෙන ලෝක දෙමළ සංසදයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.