2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

පුංචි ඡන්දෙට පක්ෂ ගාණක් යූ.එන්.පී. පෙරමුණින්

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

I සංජීවිකා සමරතුංග

ජනවාරියේ පැවැත්වෙතැයි අපේක්ෂා කරන පළාත් පාලන මැතිවරණයට එ.ජා.ප.ය ප්‍රමුඛ පක්ෂ ගණනාවක් එක්සත් ජාතික පෙරමුණෙන් තරග වැදීමට අපේක්ෂා කරන බව එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

මෙම පෙරමුණ ඔස්සේ ඡන්දයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව චම්පික රණවක, මනෝ ගනේෂන්, රිෂාඩ් බදුයුදීන්, රවුෆ් හකීම් හා පලනි දිගම්බරම් යන නායකයන් දැනටමත් එ.ජා.ප.ය සමඟ මූලික එකඟතාවක් ඇතිකරගෙන ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

එහෙත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නැගෙනහිර පළාතේ දී තරග කරන ආකාරය ගැන තවමත් අවසන් නිගමනයකට එළැඹ නැත.

ලබන ජනවාරි මස 13 හෝ 20 යන දින දෙකෙන් එකක දී පළාත් පාලන ඡන්දය පැවැත්වීමට ඉඩ ඇති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.