2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

දෙමළ ඩයස්පෝරා ලොක්කෙක් හොරෙන්ම ලංකාවේ?

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 447


දෙමළ ඩයස්පෝරාවේ ඉතා ප්‍රබල සාමාජිකයකු වන ගෝලීය දෙමළ සංසදයේ සභාපති එස්.ජේ. එම්මෑනුවෙල් පියතුමා හදිසියේ ඉතා රහසිගතව ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

දැනට සතියකට පමණ පෙර කොළඹට පැමිණි පියතුමා පසුගිය කාලයේ ජාත්‍යන්තර කොටි ඩයස්පෝරාව සමඟ එක් වී ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට මූලික වූ අයෙකි. ඔහු පසුගිය කාලයේ ශ්‍රී ලංකාව සම්බන්ධව චෝදනා නැගූ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක වන යස්මින් සූකා සමඟ සමීපව කටයුතු කරන්නෙකි. 

එම්මෑනුවෙල් පියතුමා අප්‍රසිද්ධියේ කොළඹට පැමිණ ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රබල මන්ත්‍රීවරයකු ගේ අනුග්‍රහය යටතේ බව දැනගන්නට ඇත.

රජය ළඟදී ඉදිරිපත් කිරීමට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දෙමළ ජාතික සන්ධාන ප්‍රධානීන් හා ආණ්ඩුවේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමට පියතුමා සැලසුම්කර තිබූ බවද වාර්තා විය. පසුගියදා ඔහු උතුරේ සරසවි සිසුන්ද මුණගැසී ඇත.

යාපනයේ උපන් එම්මෑනුවල් පියතුමා දැනට වෙසෙන්නේ ජර්මනියේය. 1997 වසරේ සිට ජර්මනියේ වෙසෙන ඔහු එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නෙකි. 

දේශපාලන වාර්තාකරු |