2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

විදුලි බිල වැඩි නොකළොත් ඉංජිනේරු වර්ජනයක්

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 621


විදුලි බල මණ්ඩලයේ වත්කම් වැඩිකර ගැනීම සඳහා වහාම විදුලිය ගාස්තු ඉහළ නැංවිය යුතු බවත් එසේ නොකරන්නේ නම් ඉතා ඉක්මනින් වැඩවර්ජනයක් හෝ වෙනත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් විදුලි ඉංජිනේරු සංගමය විදුලිබල අමාත්‍යවරයා ලිඛිතව දැනුම් දී තිබේ.

වත්මන් ගාස්තු රටාව නිසා මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙන බැවින් තමන් මෙම තීරණය ගත් බවද විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශ කර තිබේ. තවත් ඉල්ලීම් පහක් සමඟ මෙම ගාස්තු ඉහළ නැංවීමේ ඉල්ලීම කර ඇති සංගමය කියා සිටින්නේ වහාම විදුලිබල අමාත්‍යවරයා මැදිහත්ව විදුලිය ගාස්තු ඉහළ නැංවීමට පියවර ගත යුතු වගයි.

මේ ආකාරයටම විදුලි ඉංජිනේරු සංගමයේ නිර්දේශ මත පසුගිය වසර අවසාන භාගයේ ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලූ නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය. එනිසා මෙවර ගාස්තු ඉහළ නැංවීමට බලය ඇති මහජන උපයෝගීතා කොමිසම මගහැර විෂය භාර අමාත්‍යවරයාගෙන් ගාස්තු වැඩිකිරීමට අවසර පතා ඇත.

I ව්‍යාපාරික වාර්තාකරු