2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

ඡන්ද කල් දැමීම නීති විරෝධියි

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 117


ජනතා මත විමසුමකින් තොරව මැතිවරණ කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි නීති විරෝධී කටයුත්තක් බව පසුගියදා පැවැති පක්ෂ නායක හමුවේදි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා ඇත.

ඊට සහය පළකරමින් මැතිවරණ කොමිසමේ අනෙක් කොමසාරිස්වරු දෙදෙනකු පවසා ඇත්තේ මැතිවරණ කල් නොදමන ලෙසය.

මෙම හමුව පසුගියදා මැතිවරණ කොමිසමේදී සිදුව තිබූ අතර අවස්ථා දෙකකදී පක්ෂ නායකයන් මුණගැසී ඇත. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ නායකයන් උදෑසනත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ වල නායකයන් සවස් කාලයේදීත් මැතිවරණ කොමිසමට කැඳවා තිබිණි. 

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයත්, එක්සත් ජාතික පක්ෂයත්, ජාතික හෙළ උරුමයත් පවසා ඇත්තේ පළාත් සභා ඡන්ද සියල්ල එකට පැවැත්වීමට සුදුසු බවය. එහෙත් අනෙකුත් පක්ෂ කියා ඇත්තේ එලෙස එකට පළාත් සභා මැතිවරණ පැවැත්වීම හොඳ කාරණයක් වුවත් ආණ්ඩුව උත්සාහ ගන්නේ ඒ හරහා වසර දෙකකින් ඡන්ද කල් දැමීමට බවය. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එජාපයත් ශ්‍රීලනිපයත් එහිදි පවසා ඇත්තේ කිසිදු අයුරකින් මැතිවරණය වසර දෙකකින් කල් නොදැමෙන වගය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු කොමසාරිස්වරුන් එහිද පළාත් පළාත් පාලන මැතිවරණය ඉක්මණින් පැවැත්වීම සඳහා වන නීතිමය කටයුතු සහ නීතිමය ගැටලු නිරාකරණය කර දෙන ලෙස ඉල්ලා තිබේ. එහිදී ශ්‍රීලනිපයත් එජාපයත් කියා ඇත්තේ එම සියලු වැඩකටයුතු මේ මස අවසානයේදී හෝ සැප්තැම්බර් මස මුලදී ඉටුකර මැතිවරණය පැවැත්වීම සඳහා සුදුසු වාතාවරණය සකසා දෙන බවයි. 

පළාත් සභා මැතිවරණය කල් දැමීම සඳහා වන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ද සිය දැඩි විරෝධය පළකර තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා හැන්දෑවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවේදී ජ්‍යෙෂ්ඨ ශ්‍රී.ල.නි.ප. ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා සහ ආචාර්ය සරත් අමුණුගම 20 වැනි සංශෝධනය මගින් පළාත් සභා මැතිවරණය කල් දැමීම සුදුසු නොවන බව පැවසූහ. ඊට පක්ෂව අදහස් දක්වා ඇත්තේ ඇමැති දුමින්ද දිසානායක හා ෆයිසර් මුස්තාපාය.

I ගයාන් ගාල්ලගේ