2016 දෙසැම්බර් 19 වන සඳුදා

දිස්ත්‍රික්ක දහයක ඩෙංගු

 2016 දෙසැම්බර් 19 වන සඳුදා, පෙ.ව. 12:00 315

 

ශ්‍රී ලංකාවේ නාමය විදෙස් රටවල්හි බබළවන්නට සමත් ක්‍රිකට් තරු අතර ලසිත් මාලිංගටද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වේගපන්දු යොමු කිරීම හරහා පිතිකරුවන් දැඩි පීඩනයකට ලක්කරමින් තම කණ්ඩායම ජයග්‍රහණයේ මාවත කරා වේගවත් ගමනක ගෙනයන ඔහු හට ක්‍රීඩාලෝලීන්ගෙන් ලැබෙන්නේ උණුසුම් ප්‍රතිචාරයකි. 

ලසිත් මාලිංග කියූ පමණින් අද අප මේ අකුරු හසුරුවන්නේ ක්‍රිකට් ගැන කියන්නට යැයි බොහෝ දෙනකු සිතනවා වන්නට ඇත. නමුත් අපි අද කතා කරන්නේ ලසිත් මාලිංග නම් හිතුවක්කාරයා පවා මට්ටු කිරීමට සමත් වූ ඩෙංගු මදුරුවා පිළිබඳවය. පසුගියදා ඩෙංගු රෝගය වැළඳීම නිසා ලසිත් මාලිංග දැඩිලෙස රෝගාතුර විය. මෙම රෝගී තත්ත්වය නිසා ඔහුගේ ක්‍රීඩා පුහුණුවීම් පවා තාවකාලිකව නතර කෙරැණ අතර ඔහුට වෛද්‍යවරු පවසා ඇත්තේද ශරීර සෞඛ්‍යය යහපත් තත්ත්වයට පත්වන තුරු විවේක ගන්නා ලෙසයි.

තැනක් නොතැනක්, පුද්ගලයෙක් තරාතිරමක් නොබලා ඩෙංගු මදුරුවන් නැවතත් සීඝ්‍රයෙන් සක්‍රිය වන්නට පටන්ගෙන ඇත. කොළඹ, ගම්පහ, ගාල්ල, කළුතර, යාපනය, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්ක දහයක මේ වනවිටත් ඩෙංගු රෝගී තත්ත්වයන් දැඩි ෙලස ව්‍යප්තව පවතින බවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය පවසන අතර, මෙම දිස්ත්‍රික්ක 10 තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 30ක සෞඛ්‍ය සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමටද අමාත්‍යංශය පියවර ගෙන ඇත.

2016 වසර ආරම්භයේ පටන්ම විවිධ අවස්ථාවලදී ඒ ඒ ප්‍රදේශයන්හි ඩෙංගු රෝගයේ ව්‍යාප්තියක් දක්නට ලැබුණ අතර, මේ වනවිට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 47834කි. ඩෙංගු මරණ 77ක්ද වාර්තා වී ඇත. ඉදිරි දින කිහිපයේ හා ලබන ජනවාරියේ වැසි ඇතිවුවහොත් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50000ද ඉක්මවා යනු ඇතැයි සැලකේ.

වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය පැතිරීම වඩාත් සීඝ්‍රයෙන් සිදුවන අතර, එය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීම වැළැක්වීම සඳහා රජය සෞඛ්‍ය අමාත්‍යංශය හරහා පසුගිය කාලය පුරාවටම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. එහෙත් මහජනතාවගේ සැබෑ උනන්දුව මේ කෙරෙහි තවමත් යොමු වී ඇති බවක් පෙනෙන්නට නොමැති අතර, පසුගියදා පැවති ඩෙංගු මර්දනය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියේ ඇතිවී තිබෙන වසංගත තත්ත්වය තුරන් කිරීම සඳහා ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බවයි.

ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකායේ සහයෝගයද යොදා ගැනෙන අතර, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන්නන් හට රුපියල් 25000ක දඩ මුදලක් නිකුත් කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇත. ඊට අමතරව ඩෙංගු මදුරු පරීක්ෂා කිරීම සඳහා නිවෙස් වෙත යන කණ්ඩායම්වලට නිවාස තුළට ඇතුළුවීමේදී නිවෙස් හිමියන්ගේ අවසරය ලබාගැනීම කළ යුතු බවට පැවැති නීතිය අහෝසි කිරීමට මෙහිදී තීරණය වී ඇත. මෙම ඩෙංගු මර්දන වැඩසටහන් වෙනුවෙන් රුපියල් මිලියන 40ක මුදලක් ජාතික ඩෙංගු මර්දන ඒකකය වෙත ලබාදීමටද අමාත්‍යවරයා විසින් කටයුතු සලසා ඇත.

ඩෙංගු අවදානම පවතින දිස්ත්‍රික්ක අතර කෑගල්ලෙහි තත්ත්වයද එතරම් යහපත් නොවේ. මේ වනවිටත් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1331ක් වාර්තා වී ඇත. වැඩිම රෝගීන් හමුවූ ස්ථානය මාවනැල්ල වන අතර, එම රෝගීන් සංඛ්‍යාව 346 කි. මීට අමතරව එම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වන අරණායක රෝගීන් 153ක්ද, කෑගල්ල 134ක්ද, දෙහිඕවිට 146ක්ද, රුවන්වැල්ල 119ක්ද, ගලිගමුව 39ක්ද, වරකාපොළ 92ක්ද, රඹුක්කන 110ක්ද, යටියන්තොට 100ක්ද, බුලත්කොහුපිටිය 71ක්ද වාර්තා වී ඇත.

මේ වසරේ ජනවාරි සිට දෙසැම්බර් 02 වැනි දින දක්වා කාලයේදී දකුණු පළාතෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 4325 කි. ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ රෝගීන් 2394 දෙනකුද, මාතර දිස්ත්‍රික්කයේ රෝගීන් 1193 දෙනකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝගීන් 738 දෙනකුද වශයෙනි. ගාල්ල මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලැබෙන තොරතුරුවලට අනුව මෙලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු මදුරු ගහනය සීඝ්‍රයෙන් වැඩි වී ඇත්තේ ජනතාව තම අවට පරිසරය සම්බන්ධයෙන් උනන්දු නොවීමේ එක් ප්‍රතිඵලයක් වශයෙනි.

මේ ආකාරයට ජනතාවගේ දැනුම්වත්භාවය හෝ කුමන හෝ හේතුවක් නිසා දිවයින පුරාම ඩෙංගු ව්‍යාප්තිය දක්නට ලැබෙන අතර, ඉහත සඳහන් කළ දිස්ත්‍රික්ක දහයෙහි තත්ත්වය වඩාත් බරපතළ ස්වභාවයක ඇත. ඩෙංගු මර්දනයෙහිලා විශාල කාර්යභාරයක් ඉටුකරන ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීරගෙන් අප කළ විමසීමකදී ඇය අදහස් දැක්වූයේ මේ ආකාරයටය.

මුළු දිවයින පුරාම ඩෙංගු රෝගීන් 47834ක් වාර්තා වෙනවා. එයින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හමුවෙලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. මෙම රෝගීන් සංඛ්‍යාව 14510ක්. ඊට අමතරව ගම්පහ 6042ක්ද, කළුතර 3119ක්ද, මහනුවර 3794ක්ද, රත්නපුරේ 2832ක්ද, කුරුණෑගල, බදුල්ල, යාපනය, ගාල්ල, මාතර, මාතලේ යන දිස්ත්‍රික්කයන්හි රෝගීන් 1000කට වැඩියෙන්ද වාර්තාවෙලා තියෙනවා.

මේ ආකාරයෙන් ඩෙංගු රෝගීන් එකවර වැඩිවීම කෙරෙහි බලපෑව කාරණා කිහිපයක්ම තියෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ ඩෙංගු රෝගය ඇතිවෙන වෛරස් කාණ්ඩ 4ක් තියෙනවනෙ. 1 සහ 4 කියන කාණ්ඩ තමයි මෙච්චර කල් තිබු‍ණේ. නමුත් වෛද්‍ය පර්ෙය්ෂණ ආයතනයෙන් කියනවා වැඩිපුර එන ඩෙංගු රෝගීන් වෛරස් කාණ්ඩ 2 සහ 3 අය කියලා. මේ නිසා තමයි සාමාන්‍ය උණ තියෙන රෝගීනුත් ඩෙංගු වගේ දැනිලා රෝහල්වලට ඇතුළත් වෙන්නේ. එහෙම වුණාම රෝගීන් සංඛ්‍යාව වැඩිවෙන්න පුළුවන්. ඒක එක හේතුවක්. අනික් එක තමයි ඩෙංගු පාලනය කිරීමට නම් හැම ඩෙංගු රෝගියකුම සිටින ගෙවල් වටේ මීටර් 200ක පරිධියක ධූමායනය කරන්න ඕනෙ. එහෙම දැනුම් දීලත් තියෙනවා. ධූමානය කළ යුතුයි කියලා. ඊට අමතරව එවැනි තැන්වල මදුරු කීටයන් බෝවන ස්ථාන තියෙනවා නම් ඒක හොයලා බලලා ඉවත් කරන්න ඕනේ.

අපි ජනාධිපති කාර්ය සාධක බලකායත්  එක්ක එකතුවෙලා මිලියන දෙකකට වඩා ගෙවල් බලලා තියෙනවා. මෙහෙම පරීක්ෂා කිරීමේදී හඳුනාගන්නට ලැබුණ දෙයින් තමයි හැම ගෙවල් 5කින් 1කම මදුරු කීටයන් බෝවිය හැකි ස්ථාන තියනවා කියන දේ. ඊට පස්සේ තිබුණ නිවාස සියයට 2ක මදුරු කීටයන් හමුවන සිථාන තිබුණා. මේ තත්ත්වය අපි අඩුකරගන්නේ නැති තාක්කල් ඩෙංගු වර්ධනය වීම් වෙන්න පුළුවන්. 

මෙම පරීක්ෂා කිරීම්වලදී ගෙවල්වලට වඩා පාසල්වල, ඉදිකිරීම් ස්ථාන හා රජයේ කාර්යාලවල මදුරුවන් බෝවීමේ ස්ථානත් වැඩියි. ඒ වගේම  එහි මදුරුවන් බෝවීමට ඇති ඉඩකඩ ප්‍රමාණය වැඩියි. ඉදිකරමින් යන ගොඩනැගිල්ලක් ගත්තම මුළු ස්ලැබ් එකේම මෙවැනි මදුරුවන් බෝවිය හැකි ස්ථාන පවතිනවා. පොල්කට්ටක්, යෝගට් කප්එකක් වගේ නෙමෙයි අරවගේ විශාල තැනක මදුරු ගහනය පැතිරුණාම. ඒ වගේ ගැටලු තියෙනවා. 

ඉදිරියේදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් රුපියල් 25000ක දඩයක් නියම කරන්නටත් සෞඛ්‍ය ඇමැතිවරයා තීරණය කළා. ඊට අමතරව ගෙහිමියාගෙන් ලිඛිත අවසරයක් මත නිවාස පරීක්ෂා කිරීමට මෙතෙක් පැවති නීතියත් ඉදිරියේදී අවලංගු වෙනවා. මෙම අවසර වාචිකව ලබාගැනීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.

ඩෙංගු මුළුමහත් සමාජයටම බලපාන ගැටලුවකි. අද යාබද නිවසේ ඩෙංගු රෝගියකු සිටීනම් හෙට හෝ අනිද්දා අපේ නිවෙසෙහි සාමාජිකයකු හට ඩෙංගු නොවැළඳෙන්නේයයැයි සහතිකයක් අපට දිය නොහැකිය. බොහෝ දෙනකු හුරුවී ඇත්තේ තම නිවසේ අවට පමණක්ම පිරිසිදුව තබාගන්නටය. එහෙත් ගෙදර කුණු ඉස්සරහා කාණුවට දැමූ පමණින් මෙම ගැටලුව නොවිස‍ෙඳ්. කිසිවෙක් කරනකම් බලානොඉඳ තමන්ම මූලික වී කටයුතු කරන්නේ නම් මෙවැනි වසංගත බොහෝදුරට වළක්වා ගත හැකිය. එසේ නොමැතිව අපට මේ ගමන යාගත නොහැකිය. අප ඒ ආකාරයට අපගේ ආකල්ප සකස්කරගත යුතුයි. මේ ආකාරයට ජනතාවගේ ආකල්ප වෙනස් වන්නේ නම් විශාල පරිමාණයේ දඩ ගැසීම්වලට පවා රජයද කටයුතු නොකරනු ඇත.

අද වනවිට IDH උණ රෝහලේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින දරුවන් 12 දෙනකු සඳහා රෝහලේම විභාග මධ්‍යස්ථානයක් පවත්වන්නේ ඔවුන් කෙසේ හෝ විභාගයට ඉදිරිපත් විය යුතු නිසාය. කෙසේ වෙතත් අවසාන වශයෙන් කිවයුත්තේ ඔබට උණ රෝගය වැළඳී ඇත්නම් අත්බෙහෙත්වලට නොයා පැරසිටමෝල් වැනි ඖෂධයන් පමණක් භාවිතයට ගනිමින් හැකි ඉක්මනින් රජයේ හෝ පෞද්ගලික රෝහලක සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි.

♦ හේමමාලා කුමාරි රාජකරුණා