2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

විශ්වාසභංගයට ආණ්ඩුවේ ඇතුළෙනුත් සහාය

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44

I ගයාන් ගාල්ලගේ

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ පසුගියදා සාක්ෂි ලබාදීමෙන් අනතුරුව ඔහුට විරුද්ධව විශ්වසභංගයක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් තීරණය කළේය. ඒ අනුව බ්‍රහස්පතින්දා  (03) මන්ත්‍රීවරුන් 33 දෙනෙකුගේ අත්සනින් යුතුව විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට බාර දෙනු ලැබීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රවී කරුණානායක අමාත්‍යවරයාට නොව ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග ගෙන ආ යුතු බවට ප්‍රකාශ කළත් අමාත්‍යවරයා සාක්ෂි ලබා දුන් දිනයේ රාත්‍රීයේ ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු සමඟ පැවති හමුවේදී විශ්වාසභංගය අමාත්‍යවරයාට එරෙහිව ගෙන ඒමට එකඟතාවය පළකර තිබිණි.

එසේම ජනතා විමුක්ති පෙරමුණ ද සිය පාර්ලිමේන්තු කණ්ඩායම සමඟ පැවති සාකච්ඡාවේදී මෙම විශ්වාසභංගය ගෙන ඒම සඳහා නායකත්වය ගැනීමට තීරණය කර තිබිණි. කෙසේ වෙතත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව විශ්වාසභංග යෝජනා දෙකක් ගෙන ආ නොහැකි නිසා එක් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ක්‍රියාකර තිබේ. ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී.ල.නි.ප ඇමතිවරුන් පිරිසක් ද ඊට සහයෝගය ලබාදීමට සූදානම්ව සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු පිරිසක් මෙම විශ්වාසභංගයට සහයෝගය ලබාදීමේ අරමුණින් විශ්වාසභංගයේ ඡන්ද විමසන මොහොතේ ඡන්දය ලබා නොදී මගහැර සිටීමට සූදානම්වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි