2017 ජුලි 22 වන සෙනසුරාදා

හම්බන්තෙට වරාය එන මාසේ චීනයට

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 174


හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාගමට පැවරීම සඳහා වන ගිවිසුම් දෙකක් ලබන මස අස්සන් කිරීමට රජය තීන්දු කර ඇත.

එම ගිවිසුම් අනුව හම්බන්තොට වරායේ සියලුම වාණිජ මෙහෙයුම් කටයුතු චයිනා මර්චන්ට් සමාගමට පැවරේ. වරායේ පාලනය හා ආරක්ෂාව සම්බන්ධ කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරියට බහුතර කොටස් තිබෙන ශ්‍රී ලාංකික සමාගමකට පැවරෙයි. එහිද යම් කොටස් ප්‍රමාණයක් චයිනා මර්චන්ට් සමාගම සතුය.

එසේම වරාය පරිශ්‍රයේ පිහිටි තෙල් ටැංකි 11කින් සමන්විත ඉන්ධන සැපයුම් ව්‍යාපෘතියද චීන සමාගමට පැවරීමට තීන්දු කළ බවට රජය සමඟ ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව පසුගිය 13දා පැවැත්වූ සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බව එම වෘත්තීය සමිති එකමුතුවේ භාණ්ඩාගාරික ජයන්ත පරෙයිගම මහතා දේශයට පැවසීය. අගෝස්තු මස 06 දාට පෙර එම ගිවිසුම් අත්සන් කිරීමට යෝජිත බව තමන්ට දැනගන්නට ඇතැයි කී පරෙයිගම මහතා මෙම පැවරීමට එරෙහිව ලබන සතියේ සිට ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව දීපව්‍යාප්ත වැඩවර්ජනයක් පවත්වන බවද සඳහන් කළේය.

කෙසේ වෙතත් හම්බන්තොට වරාය ගිවිසුම නිසා ශ්‍රී ලංකා රජයට ඇමෙරිකානු ඩොලර් කෝටි 110ක පමණ ආදායමක් චීනයෙන් ලැබීමට නියමිතය.

I දේශපාලන වාර්තාකරු