2017 ජුලි 15 වන සෙනසුරාදා

කුණු කසළ දඩයක් එයි

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 256


කොළඹ නගර සීමාව තුළ නියමිත වෙලාවට කුණු කසළ ඉවත් නොකරණ පවිත්‍රතා ආයතනවලට රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමට තීරණය කළ බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා දේශයට පැවසීය.

දිනකට දෙවතාවක් කසල එක්රැස් කිරීම සිදුකළ බවත් එම අවස්ථා දෙක අතරතුර අදාළ තැන්වල කුණු ඉවත් නොකරන්නේ නම් ඔවුන්ට දඩ මුදල නියම කරන බවද හෙතෙම සඳහන් කළේය. එම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාව යෙදවීමටද තීරණය කර ඇත.

දැනට කොළඹ නගර සීමාව තුළ කොළඹ නගර සභාව ඇතුළුව පවිත්‍රතා ආයතන තුනක් වැඩකටයුතු කරන බවත් ඉන් දෙකක් පෞද්ගලික ආයතන බවත් අමාත්‍යවරයා පැවසීය.

ඉඳුල් ගැනීමට දින තුනකුත්, ප්ලාස්ටික් සහ පොලිතීන් ගැනීමට එක් දිනයකුත්, සනීපාරක්ෂණ තුවා, පැම්පස් ගැනීමට එක් දිනයකුත් වශයෙන් කාලසටහන වෙන්කර ඇත. එසේම එම එක්රැස්කිරීම් උදෑසන 4 සිට 6.30 දක්වාත් නැවත සවස 4 සිට 6.30 දක්වා සිදුකරන බව සඳහන් වෙයි.

I ගයාන් ගාල්ලගේ