2017 මැයි 27 වන සෙනසුරාදා

මහ වැස්සෙන් මහ විපත් ! මරණ 91ක්?

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 299

l හසිත් අංජන / දිශානි ජයමාලි කරුණාරත්න

පළාත් කිහිපයකට ඇද හැලුණ මහ වැසි හේතුවෙන් සිදුවූ ගංවතුර සහ නායයෑම්වලින් පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වනවිට 91 කට අධික සංඛ්‍යාවක් මියගොස් සිටින බව වාර්තා විය. කළුතර දිස්ත්‍රික්කයේ පමණක් 38 දෙනෙකු මියගොස් ඇති බව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තා සඳහන් කරනුයේ පවුල් 2811ට අයත් 7856 දෙනකු විපතට පත්ව ඇති බවයි. බස්නාහිර, සබරගමු සහ දකුණු පළාත්වල මහ වැසි හේතුවෙන් මේ විපත් සිදුව තිබේ. එම වාර්තා සඳහන් කර ඇත්තේ පුද්ගලයින් 110ක් අතුරුදන්ව සිටින බවය. රත්නපුර දිස්ත්‍රික්කයේ 10ක් මියගොස් ඇති බව වාර්තා වී ඇත.
බුලත්කොහුපිටිය, දැරණියගල, යටියන්තොට, දෙහිඕවිට, බද්දේගම, යක්කලමුල්ල, නෙළුව, බුලත්සිංහල, අගලවත්ත, වලල්ලාවිට, පස්ගොඩ, පිටබැද්දර, වලස්මුල්ල සහ කටුවන වඩාත් හානි පැමිණ තිබෙන ප්‍රදේශ බවත් එම ප්‍රදේශවල කොටුවී සිටින ජනතාව බේරාගැනීම සඳහා කටයුතු ගෙන ඇති බවත් වාර්තා වේ.

නිරිතදිග මෝසම් කාලගුණික තත්ත්වය දිවයින පුරා ස්ථාපිත වෙමින් පවතින බැවින් දිවයිනේ බස්නාහිර, මධ්‍යම, දකුණ, වයඹ පළාත්වල විටින් විට වැසි සහ ගිඟුරැම් සහිත වැසි වාර්තා වන බව කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානයන්ට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකි බවද අනෙකුත් පළාත්වල, විශේෂයෙන්ම ඌව හා නැගෙනහිර පළාත්වල සවස් කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කියයි. 
ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යටවීමෙන් දැඩි රථවාහන තදබදයක් පවතින අතර වීරකැටිය - තංගල්ල ප්‍රධාන මාර්ගය, බැදිගම - මාරගස් හන්දිය ප්‍රදේශය ද ජලයෙන් යට විය.

මීට අමතරව තවත් ප්‍රදේශ කීපයකින් පුද්ගල හානි හා දේපළ හානි වාර්තා වී තිබේ. සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේ නිවසක් මතට තාප්පයක් හා ගසක් කඩාවැටීමෙන් කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.