2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

ඇමැති පට්ටම බේරගන්න සුපිරි කාර් තෑගි පුටුව මාරුකළොත් පසු පෙළට යනවා

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 778

සිය අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයකට මුහුණදී සිටින රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු විසින් දිවයිනේ ප්‍රධාන පෙළේ ආගමික නායකයන් ගණනාවකට නවීනතම සුඛෝපභෝගී මෝටර් රථ පරිත්‍යාග කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

මෙසේ පරිත්‍යාග කරන ලද වාහන සංඛ්‍යාව හයක් බව නිල නොවන ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. රජයේ තවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු සමඟ මහනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවකට ගොස් ආගමික නායකයන් බැහැදැක අදාළ අමාත්‍යවරයා මෙම තෑග්ග පිරිනැමූ බව කියැවේ. තමතනතුර රැකගැනීමට මෙන්ම ආයෝජන ව්‍යාපෘතියකට ආගමික නායක සහය ලබාගැනීම කාර් තෑග්ගේ තවත් අරමුණක් බව තතුදත් ආරංචි මාර්ග කියයි.

රජයේ ඉතා ප්‍රබල ඇමැතිකමක් දරන මෙම දේශපාලනඥයා බස්නාහිර පළාත නියෝජනය කරන්නෙකි. තමන් දැනට දරන අමාත්‍ය ධුරය ඉදිරි කැබිනට් සංශෝධනයේදී යම්හෙයකින් වෙනස් කළහොත් කිසිදු ඇමැති ධුරයක් භාරනොගෙන පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියාකරන බව ඔහු ස්වකීය පක්ෂ නායකයන්ට දැනටමත් දැනුම් දී ඇතැයි අදාළ පක්ෂ ආරංචි මාර්ග කියයි.

I විශේෂ වාර්තාකරුවකු විසිනි