2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

මැයි දිනයේ කොමියුනිස්ට් පක්ෂය තනියම

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 166

මෙවර ලෝක කම්කරු දිනය ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය 1992න් පසුව ප්‍රථම වරට තනිව සමරන බවට එම පක්ෂයේ මහලේකම් ඩිව් ගුණසේකර මහතා පවසයි. මෙවර මැයි රැලිය කම්කරු අයිතීන් දිනාගැනීම, විකල්ප ආර්ථික ප්‍රතිපත්තිය, නව ව්‍යවස්ථාවක් දිනාගැනීම හා වාම බලවේගයේ සමඟිය යන තේමා පෙරදැරිකරමින් සමරන බව කොමියුනිස්ට් පක්ෂය කියයි.

මැයි දිනය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පක්ෂ මහලේකම් ඩිව් ගුණසේකර මහතා පවසන්නේ “කොමියුනිස්ට්වරු 1933 සූරියමල් ව්‍යාපාරයේ සිට මැයි දිනය සමරා ඇත. පක්ෂය තනිවත්, එක්සත් වම ලෙසත්, සභාග රජයන් සමඟත් දේශපාලන කොන්දේසි යටතේ මැයි දිනය සමරනු ලැබුණි. එසේ වුවද 2015 හා 2016 මැයි දිනය සැමරීමේදී දේශප්‍රේමීත්වය මුවාවන් අප සමඟ එක්වූ ඇතැම් ජාතිවාදී මෙන්ම වර්ගවාදී බලවේග මැයි දිනයේ අරමුණු වලින් බැහැරව ක්‍රියා කිරීම හේතුවෙන් පක්ෂය අනන්‍යතාව කෙලෙසී අභිමානය සරදමට ලක්විය. එබැවින් මෙවර මැයි රැලිය පක්ෂය වෘත්තීය සමිති හා බහුජන සංවිධාන සමඟ එක්ව සමරයි” යනුවෙනි.

දේශය සමඟ අදහස් දක්වමින් ඩිව් ගුණසේකර මහතා පවසා සිටියේ ණය උගුලක හිරවී මූල්‍ය අර්බුදයකට හසුව සිටින රටට විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක් ඒකාබද්ධ විපක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර නැති බවත් එක්සත් ජාතික පක්ෂය එවැනි ප්‍රතිපත්තියක් ඉදිරිපත් නොකරනු ඇති බවත්ය. මැයි දිනයේදී කොමියුනිස්ට් පක්ෂය රටට විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන බවත් හෙතෙම කීය. රාජගිරිය ආයුර්වේද හන්දිය අසලින් පෙළපාළියකින් ආරම්භ වන කොමියුනිස්ට් පක්ෂයේ මැයි රැලිය කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ දී පැවැත්වීමට සූදානම් කර තිබේ.

l සකීෆ් සාම් තන්වීරි