2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

ත්‍රි’මලේ තෙල් ටැංකි හවුලේ බෙදාගන්න!

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 254


ත්‍රිකුණාමලයේ පිහිටා ඇති තෙල් ටැංකි සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු ඉන්දියාවට පවරා පසුකාලීනව මෙම තෙල් ටැංකි ව්‍යාපෘතිය දෙරටේ හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වා ගතයුතු යැයි ජනාධිපතිවරයා ඉන්දීය රජයට යෝජනා කර තිබේ.

තෙල් ටැංකි ව්‍යාපෘතිය ඉන්දියාවට පැවරීමට ගෙන ඇති තීරණයට ඇතැම් අංශ විරෝධය පළකිරීම නිසා ජනාධිපතිවරයා මෙම විකල්ප යෝජනාව ඉදිරිපත් කර ඇතැයි දේශයට වාර්තා වෙයි.ත්‍රිකුණාමලයේ පිහිටා ඇති දැවැන්ත ඉන්ධන ටැංකි 99 පසුගිය කාලයේ ඉන්දියානු තෙල් සමාගමට පැවරුවද එයින් අපේක්ෂිත ආදායම නොලැබුණ බවට විපක්ෂයෙන් චෝදනා එල්ල විය. මේ සියලු තත්ත්වයන් නිසා තෙල් ටැංකි ව්‍යාපෘතිය දෙරටේ හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම වඩාත් උචිත බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇත.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය කෙසේ පවත්වා ගත යුතුද යන්න ගැන අවසන් තීරණ ගනු ඇත්තේ මෙම මස අවසන් සතියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

l දේශපාලන වාර්තාකරු