2021 මාර්තු 06 වන සෙනසුරාදා

පොහොට්ටුවෙන් අමුතු තීන්දුවක්

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 501

දේශපාලන වාර්තාකරු I

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පත්කළ විද්වත් කමිටුව වෙත කරුණු දැක්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ප්‍රතික්ෂේප කර තිබේ. පසුගියදා ව්‍යවස්ථා සම්පාදන කමිටුව හමුවූ පොහොට්ටුවේ ප්‍රධානීන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, බැසිල් රාජපක්ෂ, සාගර කාරියවසම් යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිස ව්‍යවස්ථා සම්පාදන කමිටුව වෙත සිය තීන්දුව දැනුම් දුන්හ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයේදී මහජන සාක්ෂි විමසීමකින් තොරව දේශපාලන පක්ෂවල අදහස් පමණක් ලබාගෙන ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම යුක්තිසහගත නොවන බව තම මතය යැයි එහිදී කමිටුව වෙත කරුණු දැක්වූ බැසිල් රාජපක්ෂ හා මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරු ප්‍රකාශ කර තිබේ.

එහෙත් කමිටුවේ මතය වී ඇත්තේ රටේ මිලියන 22ක් වන ජනතාව සම්පූර්ණයෙන් මෙම ක්‍රියාවලියට දායක කරගත නොහැකි නිසා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් හා ජනතා නියෝජිතයන්ගෙන් අදහස් ලබාගන්නා බවය.

නමුත් පොහොට්ටු නියෝජිතයන් එය පිළිගෙන නැත. එම නිසා ව්‍යාකූල තත්ත්වයක් හටගෙන තිබේ. මෙම විද්වත් කමිටුවේ ප්‍රධානියා වන්නේ මෙරට ව්‍යවස්ථා නීතිය ගැන විශාරදයකු වන ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාය.