2021 මාර්තු 06 වන සෙනසුරාදා

ආණ්ඩුව බැංකුවලින් මිලියන 206ක ණයක් අරන්

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 26

යසවර්ධන රුද්රිගු I

රජය 2021 ජනවාරි මාසයේදී රුපියල් බිලියන 209.8ක ණය මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් ලබාගෙන ඇති බව මහ බැංකු ආරංචි මාර්ග පවසයි. මෙය 2020 දෙසැම්බර්වල ලබාගෙන තිබූ රුපියල් බිලියන 185.3 ණයවලට අමතර වශයෙනි.

2021 ජනවාරිවල අලුතෙන් රුපියල් බිලියන 55.4 ණයක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගෙන ඇති අතර තවත් බිලියන 154.4ක් වාණිජ බැංකුවලින් ලබාගෙන තිබේ.

2021 ජනවාරි මාසය අවසාන වනවිට රජය මෙලෙස ලබාගෙන නොපියවූ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 4757.9කි. මෙයින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගත් ණය රුපියල් බිලියන 924.3ක් වන අතර සෙසු වාණිජ බැංකුවලින් ලබාගෙන නොපියවූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3833.6ක් වෙයි.

රජය මේ වනවිට වැඩි වශයෙන් දේශීය ණය ලබා ගැනීමට උනන්දුවක් දක්වන අතර එයට හේතු වන්නේ විදේශීය ණය ලබාගැනීමට දුෂ්කර තත්ත්වයකට පත්ව සිටීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ වාණිජ බැංකුවල පොලී ප්‍රතිශතය අඩු මට්ටමක පවතින නිසා බව මූල්‍ය විශේෂඥයන්ගේ මතය වේ.