2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

එළවළු මිල: දඹුල්ලේ අඩුයි කොළඹ වැඩියි

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

I හසිත් අංජන

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල 25%කින් පමණ අඩු වී ඇතත් කොළඹ මැනිං තොග වෙළෙඳපොළේ ඊට සාපේක්ෂව එළවළු මිල අඩු වී නැතැයි එම වෙළෙඳ සංගම් ප්‍රකාශ කරයි.

අප මේ ගැන කළ විමසුමකදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරව්වල මහතා සඳහන් කළේ පසුගිය වැසි සමය නිසා ඉහළ ගිය එළවළු මිල 25%කින් පමණ අඩු වී ඇති වගය. එහෙත් කොළඹ මැනිං තොග වෙළෙඳපොළේ ඊට සාපේක්ෂව එළවළු මිල අඩු වී නොමැති බව මැනිං වෙළෙඳපොළෙහි වෙළෙඳ සංගමයේ ලේකම් ගාමිණී හඳුන්ගේ මහතා කීය. 

තොග වෙළෙඳපොළවල තත්ත්වය එසේ වුවද සිල්ලර වෙළෙඳපොළවල එළවළු මිල ගණන් සාපේක්ෂව වැඩි වී ඇත. දඹුල්ලේ මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 350ක් පමණ වේ. එහෙත් කොළඹ සිල්ලර වෙළෙඳපොළෙහි මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 600කි. දඹුල්ල තොග වෙළෙඳපොළෙහි වම්බටු කිලෝවක මිල රුපියල් 55ක් වුවද සිල්ලර වෙළෙඳපොළෙහි වම්බටු කිලෝවක මිල රුපියල් 250ක් පමණ වේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අමුමිරිස් කිලෝවක් රුපියල් 380ක් වුවද කොළඹ සිල්ලර වෙළෙඳපොළෙහි අමුමිරිස් කිලෝවක් රුපියල් 600කි. තක්කාලි කිලෝවක තොග මිල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 120ක් වුවද කොළඹ සිල්ලර වෙළෙඳපොළෙහි තක්කාලි කිලෝවක මිල රුපියල් 240 ඉක්මවා ඇත. මේ ආකාරයට හැම එළවළු වර්ගයකම මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ අතරමැදි තැරුව්කරැවන් අධික ලාභයක් ලබන නිසා බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.