2021 ජනවාරි 23 වන සෙනසුරාදා

ජිනීවා කොමිසමෙන් රජයට බරපතළ චෝදනා

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 235

I රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු

ශ්‍රී ලංකා රජයට බරපතළ චෝදනා එල්ල කරමින් ජිනීවා මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් මිචෙල් බැෂලේ මහත්මිය විශේෂ වාර්තාවක් නිකුත් කර තිබේ.ලබන මාර්තු මස පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේ මිළඟ සැසිවාරය ඉලක්ක කරගෙන පසුගිය ජනවාරි 12දා මෙම වාර්තාව නිකුත් කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචිමාර්ග කියයි.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පරිපාලන කටයුතුවලටද අසීමාන්තික මැදිහත්වීමක් සිදුකරමින් නිකුත්කර තිබෙන මෙම වාර්තාව මාර්තුවේ ජිනීවා කොමිසම හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කෙරෙන යෝජනාව සැකසීම සඳහා මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිර රටවල් උපයෝගී කරගන්නා ලියැවිල්ල බව ජිනීවා ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

එම වාර්තාවේ සඳහන් චෝදනා රාශියකි. යහපාලන රජය ස්ථාපිත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක් පත් කිරීම. එයට උසස් පත්වීම් සම්බන්ධව නිරීක්ෂණ බලතල පමණක් පැවරීම එක් චෝදනාවකි. මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරයට හිටපු ඇමැතිවරයකු පත් කිරීම තවත් චෝදනාවකි. නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා කටයුතු නිරීක්ෂණයට හමුදා නිලධාරීන්ද ඇතුළත් කාර්යසාධක කමිටුවක් පත් කිරීම, කොරෝනා මර්දන ක්‍රියාවලියට හමුදා අංශයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකාරකයන් පත් කිරීම, පොලිසිය භාර අමාත්‍යවරයා ලෙස විශ්‍රාමික හමුදා නිලධරයකු පත් කිරීම, යුද අපරාධ චෝදනා ඇති අය රජයේ ඉහළ තනතුරුවලට පත් කිරීම, කමල් ගුණරත්න හා ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරැ ජෙනරාල් නිලයට උසස් කිරීම වැනි කරැණු සෙසු චෝදනා අතර ප්‍රධාන ඒවාය.

අතුරුදන් වූවන්ගේ කොමිසම නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම, සුළු ජාතීන් කොන්කරන රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, ශානි අබේසේකර හා නිශාන්ත සිල්වා යන අයගේ නීතිමය විමර්ශන ආදී අභ්‍යන්තර කාරණා ගණනාවක්ද මෙම චෝදනා පත්‍රයේ දැක්වෙයි. රටේ සිවිල් ආයතන රැසක්ම ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කිරීමද විවේචනයට ලක්කර තිබේ. මේ සියලු චෝදනා නගමින් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය නිර්දේශ කර ඇත්තේ යුද අපරාධ චෝදනාවලට ලක්වූවන්ගේ විදේශ ගමන් තහනම් කළ යුතු අතර ඔවුන්ගේ වත්කම් තහනම් කළයුතු බවය. ශ්‍රී ලංකා ආරක්ෂක අංශ යුද සමයේ ක්‍රියාකළ ආකාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයකට නීතිමය ඉඩක් ඇති බවද මහ කොමසාරිස්වරිය ප්‍රකාශ කර ඇත.