2021 ජනවාරි 23 වන සෙනසුරාදා

නිල වාහන 6ක් අයිතිකරගත් මැති ඇමැතිලා

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 341

I දේශපාලන වාර්තාකරු

රජයේ ඇතැම් කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් තමන්ට නීතියෙන් හිමි නිල වාහනවලට වඩා වාහන රැසක්ම අත්පත් කරගෙන සිටීම නිසා තවත් ඇමැති පිරිසකට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

අප වෙත ලැබී තිබෙන මැති ඇමැති වාහන භාවිතය පිළිබඳ නිල වාර්තා අනුව එක් අමාත්‍යවරියක් නිල වාහන හයක්ම අත්පත් කරගෙන ඇත. තවත් රාජ්‍ය අමාත්‍යවරයකුද එලෙසම නිල වාහන හයක් අත්පත් කරගෙන තිබේ. මේවා ඇතැම්විට ඔවුනගේ අමාත්‍යංශවලට අයත් ඒවා මෙන්ම අමාත්‍යංශයේ විවිධ ආයතනවලට වෙන්කරන ලද ඒවා බවද වාර්තා වෙයි.

මෙලෙස ඇතැම් කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වාහන හතර පහ භාවිත කරද්දී එක් කැබිනට් අමාත්‍යවරයකු භාවිත කරන්නේ වර්ෂ 2005 නිෂ්පාදිත වසර 16ක් පැරණි ඉතා අබලන් නිල වාහනයකි. තවත් ඇතැමුන්ට වසර 10-12 පැරණි වාහනද ලබාදී ඇත. රජය අලුතින් වාහන ආනයනය නොකිරීමේ ප්‍රතිපත්තිය නිසා ඔවුනට නව නිලවාහන ලැබී නැත. නිල වාහන පහ හය භාවිතා කරන සමහර අමාත්‍යවරුන්ට ඒවා රජයේ ගබඩාවට භාරදෙන ලෙස දැන්වුවද එම ඉල්ලීම් ඉටුකර නැති බවද වැඩිදුරටත් සඳහන් වේ. නීතිය අනුව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරයකුට හිමි නිල වාහන දෙකක් සහ ආරක්ෂක කටයුතු සඳහා වන රථයක් පමණි.