2021 ජනවාරි 23 වන සෙනසුරාදා

ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය එඩ්වින් ආරියදාස නික්මයයි

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

“ඇවිදින පුස්තකාලය” වශයෙන් හැඳින්වුණු මෙරට සිටි ප්‍රවීණ මාධ්‍යවේදියකු, ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු සහ සිනමා විචාරකයකු වූ දේශමාන්‍ය, කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා සිකුරාදා (22) අභාවප්‍රාප්ත විය. මෙරට මාධ්‍ය විජිතයේ බහුශ්‍රැතයකු වශයෙන් සැලකුණු ආරියදාස මහතා 99 වැනි වියට පා තැබුවේ පසුගිය දෙසැම්බර් 03 වැනිදාය.

මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයන් විශාල පිරිසකගේ සමීප මිත්‍රයකු සහ ගුරුවරයකුද වූ ඔහු බොහෝ විෂයයන් සම්බන්ධයෙන් විශාරද දැනුමැති විද්වතෙක් වශයෙන් සමාජයේ ගරු බුහුමනට පාත්‍ර වී සිටියේය. ඔහුගේ සේවය පුවත් කලාවට පමණක් නොව ගුවන්විදුලියටද ලැබුණි. ඉන් පසුව මෙරටට හඳුන්වා දෙනු ලැබූ රූපවාහිනී නාලිකා ආරම්භයේ සිටම ආරියදාස මහතා රූපවාහිනී මාධ්‍ය සමඟ ද කටයුතු කළේය. මෑතකදී රෝගී වනතුරු ඔහුගේ ලිපි පුවත්පත්වල පළ විය.

මාධ්‍ය කලාවට සම්බන්ධව තමාගෙන් ගුරුහුරුකම් ලැබීම සඳහා ආරියදාස මහතා හමුවට පැමිණි සියලු දෙනාට ඔහු කාරුණිකව උපදෙස් ලබා දුන්නේය. නිරතුරවම සිනහ මුසු මුහුණින් තම හිතමිතුරන් සහ සිසුන් සමඟ ද කටයුතු කළ ආරියදාස මහතා ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන සහ ජාතික සම්මාන රැසක්ද හිමිකර ගත්තේය. ශ්‍රී ලංකා කර්තෘ සංසදය මගින් වරක් එඩ්වින් ආරියදාස මහතා දීර්ඝ සේවා රන් සම්මානයෙන් පුදනු ලැබීය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විට තීරණය කර නොතිබිණි.