2021 ජනවාරි 16 වන සෙනසුරාදා

පළාත් සභා මැති-ඇමැති පඩිකතා බොරු

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 22

I දේශපාලන වාර්තාකරු

පළාත් සභාවල මැති ඇමැතින් නඩත්තුවට රජයෙන් අති විශාල මුදලක් වැයකරන බවට ඇති ප්‍රචාරය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කරයි.

පළාත් සභාවල මහජන නියෝජිතයන් නඩත්තුව සඳහා වසරකටම වැයවන්නේ පළාත් සභා සඳහා වෙන්කරන සමස්ත පුනරාවර්තන වියදමෙන් සියයට බින්දුවයි දශම තුනක් (0.3%) බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

ඔහු මෙම ප්‍රකාශය සිදුකළේ පළාත් සභා මැතිවරණය ඇතුළු දේශපාලන කාරණා ගණනාවක් ගැන සාකච්ඡා කිරීම සඳහා පසුගියදා මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයන් හමුවූ අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ සභාපතිවරයා පළාත් සභා සුදු අලියෙක් යැයි කීම අයෝග්‍ය බවත් දැනට ඊට මහජන නියෝජිතයන් පත් නොවීම නිසා නිලධාරීන් හරහා පළාත් සභා ක්‍රියාත්මක වන බවත් කීය. එහෙත් පළාත් සභා එලෙස ක්‍රියාත්මක වීම හානිකර බැවින් පළාත් සභා ඡන්ද තවදුරටත් පමා නොකළ යුතු යැයි සභාපතිවරයා අවධාරණය කර තිබේ.