2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

හිරේ ඉන්න අඩක් ඉක්මනින් නිදහස්

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44

I අධිකරණ වාර්තාකරු

මේ වනවිට බන්ධනාගාරගතව සිටින සුළු වැරදි කළ පුද්ගලයන් 15,000කට පමණ ඉතා ඉක්මණින් නීතිමය අධීක්ෂණය යටතේ නිදහස ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කෙරෙමින් පවත්නා බව පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙම පියවර ගැනීමට යන්නේ බන්ධනාගාරවල තිබෙන අධික තදබදය අඩු කිරීමේ පියවරක් ලෙසය. දිවයිනේ බන්ධනාගාර 28හි ඉඩ පහසුකම් ඇත්තේ සිරකරුවන් 11,000කට නමුත් දැන් සිරගෙවල්වල සිරකරුවන් 32,000ක් පමණ රඳවා සිටිති. සිරගෙවල්වල 300%ක (සියයට තුන්සීයක) තදබදයක් පවතී.

එම නිසා සුළු වැරදි කළ තැනැත්තන් හඳුනාගෙන ඔවුන්ට නිදහස ලබාදීම සඳහා අධිකරණ අනුමැතිය ලබාගත යුතු බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාද මෙයට පෙර රජයට යෝජනා කර තිබිණි.

සුළු දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිවීම, ඇපකරුවන් සොයාගැනීමට නොහැකි වීම සහ වෙනත් සුළු අපරාධ ගණයට වැටෙන වැරදිවලට දඬුවම් ලබා සිටින තැනැත්තන්ට මෙම සහනය හිමිවනු ඇතැයි වාර්තා වෙයි. ඔවුන්ට සිරගෙදරින් නිදහස ලැබුණද මසකට වරක් තමන් පදිංචි ප්‍රදේශයේ ඇති පොලීසිය වෙත ගොස් එහි පවත්වාගෙන යන දුෂ්චරිතවත් පුද්ගලයන් සඳහා වන පොතෙහි අත්සන් තැබීමට නියම කෙරේ.

මෙලෙස සුළු වැරදිකරුවන්ට නිදහස ලබාදුනහොත් බන්ධනාගාරවල තිබෙන අධික තදබදය අඩුවී සිරකරුවන් සංඛ්‍යාව 32,000 සිට 17,000 ක් දක්වා අඩුකර ගත හැකිවෙතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.