2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

හොඳ හිතින් ගෙනා 19 සමහරු යක්ෂයකු කරගත්තා - කරු ජයසූරිය

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 161

I දේශපාලන වාර්තාකරු

යහපාලන රජය යහපත් අදහසක් අනුව රටට ඉදිරිපත් කරන ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය දේශපාලන ක්ෂේත්‍රයේ ඇතැමුන් යක්ෂයෙක් බවට පත්කර ඇතැයි හිටපු කතා නායක සහ සාධාරණ සමාජයක් සංවිධානයේ සභාපති කරු ජයසූරිය මහතා දේශයට පැවසීය.

ඒ වෙනුවට වත්මන් රජය ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනය මගින් ඒකාධිපති ස්වරූපයේ බලතල සමුදායක් ජනාධිපති ධූරය වටා ගොනුකර ඇතැයි ජයසූරිය මහතා වැඩිදුරටත් කීය. එහෙත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සංශෝධනය සද්භාවයෙන් ඉදිරිපත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය. එසේ වුවද ව්‍යවස්ථා සංශෝධනයේ සෑම ක්ෂේත්‍රයක් ගැනම මහජන සංවාදයක් නොපවත්වා හිතුමතයේ මෙය සම්මත නොකළ යුතු යැයි ජයසූරිය මහතා පෙන්වා දුන්නේය.

යහපාලන රජය යටතේ ලොව හොඳම මානව හිමිකම් කොමිසම පැවතියේ ශ්‍රී ලංකාවේය. තොරතුරු දැනගැනීමේ අයිතිය පවා යහපාලනය යටතේ නීතිගත විය. එබැවින් මේ සියල්ල නැවත සමාලෝචනයට ලක්කොට ධවල පත්‍රිකාවක් මගින් ව්‍යවස්ථා සංශෝධන යෝජනා රට හමුවට ඉදිරිපත් කොට මහජන සංවාදයකින් පසු සම්මත කර ගැනීම ප්‍රශ්නයක් නොවන බව හිටපු කතානායකවරයා ප්‍රකාශ කළේය.