2020 ජුලි 11 වන සෙනසුරාදා

හිරගෙදර ලොක්කන්ගේ වත්කම් සොයයි

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 286

ජයන්ත සමරකෝන් l

සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමට රජය තීරණය කර ඇත. ඉන් අනතුරුව මෙම නිලධාරීන් අයථා ලෙස වත්කම් රැස්කර තිබේද යන්න ගැන පූර්ණ පරීක්ෂණයක් කිරීමට නියමිතය.මේ හේතුවෙන් සහකාර බන්ධනාගාර අධිකාරීවරුන්ගෙන් ඉහළට සියලුම නිලධාරීන් ලහිලහියේ එම පෝරම පිරවීමට පටන්ගෙන ඇතැයි ද වාර්තා වේ.

පසුගියදා එම පෝරම විශාල තොගයක් බන්ධනාගාර මූලස්ථානය වෙත රැගෙනවිත් ඇති අතර ඒවා බෙදාදීම මේ වනවිට ආරම්භ කර ඇතැයිද දැනගන්නට තිබේ.

මීට පෙර වසරවල එම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම ඉතා මන්දගාමීව සිදුවී ඇති අතර මෙවර ඊට සියලුම නිලධාරීන් දැඩි උනන්දුවක් දැක්වීම කෙරෙහි සෙසු කනිෂ්ඨ නිලධාරීන් අතර දැඩි කතාබහක් හටගෙන ඇතැයිද කියති. හිටිහැටියේ කෝටිපතියන් බවට පත්වූ ජේලර් නිලයෙන් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ නිලධාරීන් කිහිපදෙනකු පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශ ඇස යොමු වී තිබුණේ මෑතකදීය.

සියලුම රාජ්‍ය නිලධාරීන් සෑම වර්ෂයකම ජූනි මස 30දාට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු වේ.