2020 ජුලි 04 වන සෙනසුරාදා

කහකුඩු පාලන මිල විහිළුවක් වෙයි

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 213

I යසවර්ධන රුද්රිගූ

කහ කැබලිවලට පාලන මිලක් නොපනවා කහ කුඩුවලට පමණක් පාලන මිලක් පැනවීම විහිළුවක් බවට පත්වී ඇතැයි කොළඹ තොග වෙළෙඳුන් පවසති. 

පසුගිය දා පාරිභෝගික සේවා අධිකාරිය කහ කුඩු කිලෝ ග්‍රෑමයකට රුපියල් 750ක පාලන මිලක් පැනවූ අතර එම මිල ඉක්මවා අලෙවි කරන්නන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව අධිකාරිය පවසයි.

එසේ වුවද පාලන මිලක් නොමැති වීම නිසා මේ වනවිට කහ කැබලි කිලෝව රුපියල් 2000 – 2500 අතර මිලකට වෙළෙඳපොළේ විවෘතව අලෙවි කෙරේ. රටට කහ ආනයනය කරනුයේ කැබලි වශයෙන් විනා කුඩු ලෙස නොවේ. දේශීය ගොවියන් අලෙවි කරන්නේද කහ කැබලි වශයෙනි. මේ නිසා ව්‍යාපාරිකයන් කහ කැබළි කුඩු කර කිලෝව රුපියල් 3000 – 3500 පමණ මිලකට අලෙවි කිරීමට පෙළඹී ඇත. ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරියේ නීතිය කහ කුඩු මිල පාලනය කිරීමට කිසි ලෙසකින්වත් හේතු නොවන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

ආනයන බලපත්‍ර නොමැතිව මෙරටට ගෙනා කහ කන්ටේනර් 56ක් මේ වනවිට රේගුවේ තබාගෙන ඇති අතර ඒවා පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව රේගු ආරංචි මාර්ග කියයි. එම කන්ටේනරයක කිලෝ 18,000ක් අඩංගු වන අතර ඒවා පිටතට ගෙන වෙළෙඳපොළට මුදා හැරිය හැකිනම් දැනට පවතින කළු කඩ මිල වහාම පහළ වැටෙනු ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග අනාවරණය කරයි.