2020 ජුලි 04 වන සෙනසුරාදා

උසස් පෙළ විභාගය අමාත්‍යංශය කියන දිනයට - විභාග කොමසාරිස්

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 39

I ගයාන් ගාල්ලගේ

උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට එන්නේ පාසල් සහ අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගනු ලබන තීරණයෙන් පසුව බව විභාග කොමසාරිස් සනත් පූජිත මහතා දේශයට පැවසීය.

පාසල්වල උසස්පෙළට අදාළ විෂය නිර්දේශ අවසන් කර ඇතිද යන්න අධ්‍යාපන අමාත්‍යංශය විසින් සොයාබලා පසුව ඒ සම්බන්ධයෙන් අධ්‍යපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලබාදෙන දැනුම්දීමට අනුව විභාගය පැවැත්වෙන දිනය තීරණය කරන බව හෙතෙම සඳහන් කළේය.

එසේ නොමැතිව කිසිදු බාහිර පාර්ශ්වයක් සමඟ විභාගය සම්බන්ධයෙන් එකඟතා නැති බවද ඒ මහතා කීය.

කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසන්නේ දේශපාලන බලය ලබා ගැනීමට ටියුෂන් මාෆියාව ජනාධිපතිවරණයේදී උදව් කළ නිසා ඒ වෙනුවෙන් කෙලෙහිගුණ දැක්වීම සඳහා උසස් පෙළ විභාගය කල්දැමීමට තීරණය කර ඇති බවයි. මේ රටේ රජයේ ගුරුවරුන්ගේ සංගම් රැසක් තිබියදී ටියුෂන් ගුරුවරු කිහිපදෙනෙකු සමඟ සකච්ඡා කර විභාගය කල්දැමීමට විභාග කොමසාරිස් පවා මැදිහත් වීම පිළිකුළෙන් යුතුව හෙළාදකින බවයි.
එම චෝදනාව සම්බන්ධයෙන් කොමසාරිවරයා සඳහන් කළේ එම සාකච්ඡාව ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ නිසා ඒ සඳහා රජයේ පාර්ශ්වයෙන් සහභාගී වුවද විභාගය කල්දැමීම සම්බන්ධයෙන් කිසිදු අවසන් තීරණයක් එහිදී නොගත් බවයි.