2020 ජුනි 27 වන සෙනසුරාදා

ගිය ආණ්ඩුවෙන් නිවාස අමාත්‍යාංශයට කෝටි 300ක පොලු

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

I දේශපාලන වාර්තාකරු

නිවාස අමාත්‍යංශයට අදාළ නොවන ව්‍යාපෘති සඳහා අමාත්‍යංශය සතු අරමුදල් පසුගිය රජය විසින් වැයකර තිබීම නිසා අමාත්‍යංශය යටතේ පවත්නා ආයතන ගණනාවක් පවත්වාගෙන යාම බරපතළ අර්බුදයක් බවට පත්ව තිබේ.

අප වෙත විශේෂ ප්‍රකාශයක් කළ එම අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් කියා සිටියේ මෙලෙස අදාළ නොවන රාජකාරි සඳහා වැයකළ රුපියල් කෝටි 300ක් පමණ අමාත්‍යංශයට ගෙවීමට සිදුව ඇති බවය.

නිවාස අමාත්‍යංශයට අදාළ නොවන පාලම්, ජල සම්පාදන කටයුතු, මාර්ග සංවර්ධනය ආදී කටයුතු සඳහා මුදල් වැයකර තිබේ. එසේම උදාගම් ප්‍රචාරක කටයුතු සඳහාද අසීමිත මුදලක් වැයකර ඇත. මේවාට අවශ්‍ය වියදම් ණයට ලබාගෙන ඇත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් සහ සෙවණ අරමුදලින් බවද වාර්තා වෙයි. මේ ගැන දැනට විශේෂ පරීක්ෂණ දෙකක් ක්‍රියාත්මකය.

කෙසේ වෙතත් අමාත්‍යංශයේ හිටපු දේශපාලන බලධරයන් විසින් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන් නිසා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, යන්ත්‍රෝපකරණ ආයතනය, රාජ්‍ය නිර්මාණ නීතිගත සංස්ථාව ඇතුළු ආයතන ගණනාවක් ආර්ථික අගාධයකට වැටී ඇතැයි අප සමඟ කරුණු දැක්වූ නිවාස අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසීය.