2020 ජුනි 20 වන සෙනසුරාදා

කළු සල්ලි මලු ගේන ලොක්කන්ට කොක්කක්

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 509

 

l දේශපාලන වාර්තාකරු

දේශපාලන පවුල්වල සාමාජිකයන්ට (politically Exposed person) සහ රජයේ උසස්ම නිලතල දරන්නන් බැංකු ගිණුම් විවෘත කිරීමේදී වාරණ නීතිරීති රැසකට යටත් කර තිබේ. මෙම නීතිය කලක පටන් නීතිපොත්වල තිබුණද මෑතක සිට එය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට බැංකු බලධරයන්ට මහ බැංකුව තරයේම උපදෙස් ලබා දී තිබේ.

දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් PEP නම් නීතියට යටත් කිරීමෙන් පසු ඔවුන් බැංකු ගිණුමක් ඇරඹීමට ඉල්ලීමක් කළත්, ණය මුදලක් හෝ කල්බදු (ලීසිං) පහසුකමක් ඉල්ලා සිටියත් එම ඉල්ලීම ඇතැම්විට අදාළ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් හෝ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අනුමත කරගත යුතුය.

එම නිසා දේශපාලනයට අනාවරණය වූ තැනැත්තන්ට බැංකු ගිණුමක් ඇරඹීමට හෝ ණය පහසුකමක් ලබාගන්නට මාස ගණනක් ගතවන බවත් එය තමන්ට කරන බලවත් අසාධාරණයක් බවත් දේශපාලන පවුල්වලට සම්බන්ධ මෙම අත්දැකීම් ලද තැනැත්තන් කිහිප දෙනෙක් දේශයට පැවසූහ.

නම් සඳහන් කිරීමට අකැමැති වූ බැංකු කළමනාකරැවකු අප සමඟ කියා සිටියේ එවන් තැනැත්තකු ණයක් ගැනීමට හෝ ගිණුමක් ඇරඹීමට අවසර ඉල්ලුවොත් බැංකු සතුව ඇති දේශපාලන පවුල්වල හා රජයේ උසස් නිලතල දරන්නන්ගේ නම් සමඟ සසඳා බලා අදාළ බලධරයන් වෙත එම ඉල්ලීම් අනුමැතියට ඉදිරිපත් කරන බවයි. වංචා, දූෂණ සහ අයථා ක්‍රම මගින් මුදල් උපයා කළු සල්ලි සුදු කිරීමට දැරෙන ප්‍රයත්නය මර්දනයට මෙම නීති දැඩිව සක්‍රීය කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.