2020 ජුනි 13 වන සෙනසුරාදා

පාතාළ ෆෝන් කතා කරයි : මිලියන 500 බැංකු ගිණුම්

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 344

ආරක්ෂක වාර්තාකරු l

අත්අඩංගුවට ගෙන සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයකුගේ බැංකු ගිණුම් ගණනක රුපියල් මිලියන 500 (රැපියල් කෝටි 50ක්) තැන්පත් කර තිබෙන බව ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන ඇත. මෙම මුදල් කප්පම් ගැනීමෙන් හා කුඩු ජාවාරමෙන් උපයාගත් ඒවා බවත් ආරක්ෂක අංශ වැඩිදුරටත් කියයි.

මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික වාණිජ බැංකු කිහිපයක මෙම ගිණුම් පවත්වාගෙන ගොස් ඇත. ඒ ගැන ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කරන බව ඉව වැටුණු පාතාල නායකයා කාන්තාවක් මාර්ගයෙන් එම එක් ගිණුමක මුදල් බැංකුවෙන් ඉවත් කරගෙන වෙනත් බැංකුවක තැන්පත් කර තිබේ. දැන් ඒ ගිණුම් සියල්ල ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාල අපරාධකරැවන් වන කංජිපානි ඉම්රාන්, වෙලේ සුදා, කොස්ගොඩ තාරක ආදීන්ගේ සිරකුටි පරීක්ෂාකොට අත්අඩංගුවට ගත් ජංගම දුරකතන පරීක්ෂා කිරීමේදී ආරක්ෂක අංශයේ යැයි සැක කෙරෙන තැනැත්තන්ගේ නම් හා දුරකතන අංක සහිත තවත් රහස් රැසක්ද අනාවරණය වී තිබේ.

එක් දුරකතනයක ඩී.අයි.ජී. (එස්.එස්.එස්.) යනුවෙන් සටහනක් යොදා අංක ගණනාවක් සඳහන් කර ඇත. තවත් දුරකතනයක ඒ.එස්.පී. (ඩී.) යැයි සඳහන් දුරකතන අංක ගණනාවක් සටහන් කර තිබේ. මෙම අංක ඔස්සේ මේ වනවිටත් මූලික විමර්ශන සිදුකර හමාරය. ඒ ගැන කළ මූලික පරීක්ෂාවකදී අනාවරණය වී ඇත්තේ මෙම පාතාල නායකයකු දුරකතනයේ සඳහන් අංකයකට ඇමතුම දුන්විට වහා එම ඇමතුම විසන්ධි කර වෙනත් දුරකතනයකින් සිරගෙදර පාතාලකරැගේ දුරකතනයට ඇමතුම් ලබාදී ඇති බවයි.

එසේම මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ ජංගම දුරකතනවලින් මෙතෙක් විවෘත කරගත හැකිවී තිබෙන්නේ දුරකතන දෙකක් පමණි. ඉතිරි දුරකතන දිවයිනේ ප්‍රකට පරිගණක හා දුරකතන විශේෂඥයන් පිරිසකට ලබාදී ඒවා විවෘත කර ගැනීමට අවශ්‍ය විධිවිධාන යොදා ඇතැයි මේ ගැන අප වෙත ලැබුණ නවතම වාර්තා කියයි. ඒවා විවෘත කරගත් වහාම කංජිපානි ඉම්රාන් ඇතුළු ප්‍රබල පාතාල නායකයන් ගැන තවත් බොහෝ තොරතුරැ අනාවරණය කරගත හැකි යැයිද ආරක්ෂක අංශ අපේක්ෂා කරයි. බන්ධනාගාර ප්‍රධානීන් හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ මෙම මෙහෙයුමෙන් පසු ඉදිරි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.