2020 මැයි 30 වන සෙනසුරාදා

පී.සී.ආර්. සහතිකය නැත්නම් ලංකාවට එන්න බැහැ - ආචාර්ය ජයනාත් කොළඹගේ

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 292

I දේශපාලන වාර්තාකරු

විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමට පැය 72කට පෙර P.C.R. පරීක්ෂණ සිදුකර කොරෝනා වෛරස ආසාදනය වී නැතැයි තහවුරුවන්නන් පමණක් මෙරට ගෙන්වීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාලයේ විදේශ සබඳතා පිළිබඳ අතිරේක ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා දේශයට පැවසීය.

ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් ටිකට්පත් නිකුත් කරන්නේ මේ අයට පමණි. දැනට කුවේට්හි රැඳී සිටින අයටද මෙම ප්‍රතිපත්තිය අදාළ වන බව පැවසූ හෙතෙම විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේදී නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් මෙන්ම රෝහල් පහසුකම් ගැනද සලකා බැලිය යුතු යැයි කීය.

දැනට දහස් ගණනක පිරිසක් නිරෝධායනය වන අතර දිනපතා එම මධ්‍යස්ථානවලට අලුතෙන් ඇතුළත් කළ හැක්කේ 300 දෙනෙක් පමණක් බව අවධාරණය කළේය.

දැනට මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන 19,000ක් පමණ කුවේට්හි රැඳී සිටිති. ඔවුන් එරට රැඳවුම් භාරයේ සිටින්නන්, සිරදඬුවම් ලැබූවන් හා වීසා නොමැතිව සිට පොදු සමාව යටතේ භාරවූවන් යැයිද කීය.