2020 මැයි 09 වන සෙනසුරාදා

උතුරේ පන්දාහ : සම්පන්දන්ගෙන් මහින්දට පැමිණිලි

 2020 මැයි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 384

I දේශපාලන වාර්තාකරු

උතුරු පළාතේ දිස්ත්‍රික්ක තුනේ ඇඳිරි නීතියෙන් පීඩාවට පත් ජනතාවට බෙදාදෙන රුපියල් 5,000 සහනාධාර කපා දමා ඇත්තේ ඒ සඳහා සුදුස්සන් තේරීමට පත්කළ කමිටු විසින් බව හෙළිදරව් වෙයි.

මෙම හෙළිදරව්ව සිදුවූයේ පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවති හමුවේදීය.

මෙහිදී එම සන්ධාන නායක සම්පන්දන් මහතා ප්‍රමුඛ මන්ත්‍රීන් පැමිණිලි කළේ ඇඳිරි නීතියෙන් පීඩාවට පත් ජනතාවට ලබාදෙන රුපියල් 5,000 සහනාධාර ලැබිය යුතු සුදුසුකම් ඇති බොහෝ දෙනාගේ නම් ආධාර ලැයිස්තුවලින් කපා දමා බලවත් අසාධාරණයක් කරන බවයි. ඒ මොහොතේම අදාළ ලේඛන පරීක්ෂා කළ කොරෝනා සහන සැලසීමේ කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ ආධාර සඳහා සුදුස්සන් තෝරාගන්නේ පළාතේ ප්‍රාදේශීය සභා නියෝජිත, ග්‍රාමසේවා නිලධාරී, සමෘද්ධි නිලධාරී ආදීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් බවය. ඒ අතර උතුරේ ආධාර කමිටු වෙත රජය මගින්ද සමෘද්ධිලාභීන් රෝගීන් හා අනෙකුත් සහන ලැබිය යුතු අයගේ නම් ලැයිස්තු ඉදිරිපත් කළ විට ඒවායේ නම් හරි අඩකින් කපාදමා ඇතැයිද හෙතෙම කීය.

ලංකාවේ අන් කිසිදු දිස්ත්‍රික්කයක මෙබඳු තත්ත්වයක් දක්නට නැති බව පැවසූ බැසිල් රාජපක්ෂ මහතා එම කමිටුවල සිටින නිලධාරීන්ගෙන් 99%ක්ම දෙමළ සන්ධානය නියෝජනය කරන්නන් බැවින් ඔවුන් සමඟ සාකච්ඡා කර ප්‍රශ්නය විසඳාගන්නා ලෙසද ප්‍රකාශ කළේය.