2020 මැයි 09 වන සෙනසුරාදා

ඡන්ද ගැසට් පෙත්සම් දෙකක් සඳුදා-බදාදා විභාගයට

 2020 මැයි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 214

I අධිකරණ වාර්තාකරු

මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කළ ගැසට්ටුව නීතිවිරෝධී බවත් පැරණි පාර්ලිමේන්තුව නැවත නොකැඳවීමෙන් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝණය වන බවත් කියමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හතරක් ඉදිරිපත්ව ඇත.

එයින් පෙත්සම් දෙකක් ලබන 11දා හෙට සහ 13දා (බදාදා) ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුලු දෙකක් හමුවේ සලකා බැලෙයි.

මින් පළමු පෙත්සම ඉදිරිපත් කළේ නීතිඥවරයකු වන චරිත ගුණරත්න විසිනි. දෙවැනි පෙත්සම ඉදිරිපත් කළේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු 8 දෙනෙකු විසිනි. තෙවැනි පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ආචාර්ය පාක්‍ය සෝති සරවනමුත්තුය සමගි ජනබලවේගය වෙනුවෙන් එහි ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා ද පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

සඳුදා සලකා බැලෙන මුල්ම පෙත්සම විභාග කරනු ලබන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු මුර්දු ප්‍රනාන්දු හා විනිසුරු එස්. තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේය.

චරිත ගුණරත්න මහතාගේ පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතීඥ පිරිසක් පෙනී සිටිති. බදාදා සලකා බැලෙන වික්ටර් අයිවන් මහතාගේ පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා කරුණු දක්වනු ඇත. පාක්‍ය සෝති සරවනමුත්තු මහතාගේ පෙත්සම වෙනුවෙන්ද සුමන්තිරන් මහතා පෙනිසිටී. සමගි ජනබලවේගයේ පෙත්සම වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පෙනී සිටින බව වාර්තාවෙයි. ආණ්ඩුව වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ්ද සිල්වා, ගාමිණී මාරපන, මනෝහරා ද සිල්වා, අලිසබ්රී, ශවීන්ද්‍ර ප්‍රනාන්දු සහ නවීන් මාරපන යන මහත්වරු පෙනී සිටිනු ඇත.

මෙම පෙත්සම් විභාග සිදුකෙරෙන දින දෙකෙහි ශ්‍රේෂ්ඨාධිකරණය රැස්වන්නේ සෞඛ්‍ය අංශ නිර්දේශ අනුවය. ඒ අනුව දවසේ උසාවි පවත්නා කාලසීමාව තුළ විභාගයට ගන්නා නඩුවලට අදාළ පිරිස්වලට පමණක් ඒ අවස්ථාවේ අධිකරණ ශාලාව තුළට පැමිණීමට හැකි බව අගවිනිසුරුවරයා ප්‍රමුඛ අධිකරණ සේවා කොමිසම තීන්දු කර තිබේ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01