2020 මැයි 02 වන සෙනසුරාදා

53000ක් කොළඹ සිරවෙලා

 2020 මැයි 02 වන සෙනසුරාදා, ප.ව. 05:04 148

I දේශපාලන වාර්තාකරු

පසුගිය මස ඇඳිරි නීතිය පනවන ලද අවස්ථාවේ කොළඹ හා තදාසන්න නගරවල රැඳී සිටි ලංකාවේ විවිධ පළාත්වලින් පැමිණි පිරිස 53,000ක් පමණ වන බව නවතම පොලිස් වාර්තා කියයි. මේ අය දැනට සිය ගම්බිම්වලට යා ගත නොහැකිව කොළඹ සිරවී සිටිති. මොවුන් අතර විවිධ රෝගයන්ට ප්‍රතිකාර ගන්නට පැමිණි රෝගීන් 776 දෙනකුද වන බව රජයේ වාර්තා කියයි.

මෙයින් වැඩිම පිරිසක් සිරවී සිටින්නේ නුගේගොඩ පොලිස් බල ප්‍රදේශයේය. එම සංඛ්‍යාව 16,414කි. කැලණිය කොට්ඨාසය තුළ 9219 දෙනෙකුද ගල්කිස්ස කොට්ඨාසයේ 9215 ක්ද ආදී වශයෙන් මෙම පිරිස රුඳී සිටින බව පොලිස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අය පැමිණි දිස්ත්‍රික්ක අනුවද ඔවුන් පොලීසිය විසින් වර්ගීකරණය කර ඇත. ඒ අනුව වැඩිම පිරිස කොළඹට පැමිණ ඇත්තේ නුවරඑළියේ වතුකරයෙනි. එම ගණන 8608කි. රත්නපුරයෙන් 4060ක් මහනුවරින් 4272ක් මාතරින් 3328ක් ආදී වශයෙන් මොවුන් හඳුනාගෙන තිබේ.

පසුගියදා මේ අය කණ්ඩායම් වශයෙන් සිය ගම්බිම් වෙත යැවීමට කටයුතු සම්පාදනය කළද කොරෝනා වසංගතය ව්‍යාප්ත වන්නට පටන් ගැනීමත් සමඟ එම තීරණය වෙනස් කෙරිණි. අනතුරුව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා මොවුන්ට ආහාරපාන සපයා තවදුරටත් අගනුවරම රැඳී සිටින්නට අවශ්‍ය පහසුකම් සලසන ලෙස කොළඹ මහ දිසාපතිවරයාට සහ ප්‍රාදේශීය ලේකම්වරුනට උපදෙස් දී ඇත. බැසිල් රාජපක්ෂ මහතා සභාපතිත්වය දරන කොරෝනා සහන සැලසුම් කාර්යසාධන බළකාය මොවුන් සම්බන්ධව නිරන්තරයෙන්ම පරීක්ෂා කරමින් අවශ්‍ය පහසුකම් සම්පාදනයට පියවර ගනිමින් සිටී. ඒ සඳහා මූලික වශයෙන් රුපියල් ලක්ෂ 500ක් දැනට වෙන්කර ඇත.

ඒ අතර මේ අය අතර සිටින ආරක්ෂිත ප්‍රදේශවලින් පැමිණි පිරිස් එම ආරක්ෂිත ප්‍රදේශ කරා කඩිනමින් නැවත යැවීමටත් ඒ අය නිරෝධායනයට ලක් කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමටද රජය දැන් සැලසුමක් සකස් කරමින් සිටී.