2020 ජනවාරි 18 වන සෙනසුරාදා

සජිත් පිලේ සන්ධානය තීන්දුයි!

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 399

මහලේකම් ධූරයට රන්ජිත් මද්දුමබණ්ඩාර?
රට පුරා ජනරැලි මාලාවක්

දේශපාලන වාර්තාකරු l

නායකත්ව අර්බුදය නොවිසඳීම නිසා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් 55කට වැඩි පිරිසක් නව සන්ධානයක් සඳහා එකඟත්වය පළකර ඇති අතර එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ සියල්ලද ඒ සඳහා එක්වන බව එම පක්ෂයේ සජිත් හිතවාදී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෙක් දේශයට පැවසීය.

මේ ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සිකුරාදා සවස කොළඹදී රැස් වූහ. මෙම හමුවට එක්සත් ජාතික පක්ෂ ජෙෂ්ඨයන් මෙන්ම හවුල්කාර පක්ෂ නායකයන්වන චම්පික රණවක, රාජිත සේනාරත්න, මනෝ ගනේෂන්, රාවුෆ් හකීම් සහ පී. දිගම්බරම් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. රිෂාඩ් බදුර්දීන් මහතා පමණක් පැමිණ සිටියේ නැත. මෙම හමුවේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඉදිරි මහමැතිවරණය තරඟ කිරීමටත් ඒ සඳහා නව සන්ධානයක් ස්ථාපිත කිරීමටත් ඒකමතික තීන්දුවක් ගත්තේය. 

පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ගිය සිකුරාදා කරන ලද සාකච්ඡාව අනුව එ.ජා.ප.යේ සජිත් හිතවාදීන් පක්ෂයෙන් ඉවත් නොවී වෙනම මන්ත්‍රී කණ්ඩායමක් ලෙස නව සන්ධානයට එක්වීමට තීන්දු විය. නව සන්ධානයේ නම ලකුණ හා තනතුරු සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැත. සජිත් හිතවාදී කණ්ඩායමේ එක් ජ්‍යෙෂ්ඨයෙක් දේශයට කීවේ නව සන්ධානයේ ප්‍රධාන ලේකම් ධුරයට මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පත්වීමට ඉඩ ඇති බවය. එසේම නව සන්ධානය දැනට ලියාපදිංචි කර ඇති දේශපාලන පක්ෂයක් කේන්ද්‍ර කරගෙන නිර්මාණය කෙරෙනු ඇතැයිද දැනගන්නට ඇත.

සන්ධානය ස්ථාපිත කිරීමෙන් පසු මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර රටපුරා ආසන මට්ටමින් ජනරැලි මාලාවක් තැබීමටද තීන්දු කර තිබේ.  එසේම එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකයන් සහ පළාත් සභා ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රීන් සමගද සාකච්ඡා කෙරේ.  නව ආණ්ඩුවේ ජනතා හිතවාදී නොවන ක්‍රියා ගැන මෙන්ම පක්ෂ මන්ත්‍රීන් ගත් අලුත් තීන්දුව ගැන ජනතාව දැනුවත් කිරීම මෙම රැස්වීම් මාලාවේ අරමුණ බව දැනගන්නට ඇත.