2020 ජනවාරි 18 වන සෙනසුරාදා

හඬපටයට පැටළුණු විනිසුරුවරුන්ට විනට පරීක්ෂණ

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 14

දේශපාලන වාර්තාකරු l

රන්ජන් රාමනායකගේ හඬපට සිද්ධියට ගෑවුණු විනිසුරුවරුන් සම්බන්ධ විනය පරීක්ෂණ කටයුතු ගැන ඉදිරි සතිය තුළ අධිකරණ සේවා කොමිසම තීන්දුවක් ගනු ඇතැයි කියැවේ.

කොමිසම විසින් දැනටමත් මේ සිද්ධියට ගෑවී සිටි මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ වැඩ තහනම් කර ඇත. ඒ ගැන නම සඳහන් වූ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ඔහුගේ පත්වීම් බලධරයා වන ජනාධිපතිවරයාට අධිකරණ සේවා කොමිසම නිර්දේශයක් යවා තිබිණි. එම නිර්දේශයට අදාළව ජනාධිපතිවරයා ගනු ලැබූ තීන්දුව ලබන සඳුදා වනවිට අධිකරණ සේවා කොමිසමට යොමුකෙරෙනු ඇතැයි වාර්තා වේ. ඉන්පසු මහාධිකරණ විනිසුරු පිලපිටිය මහතා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට අධිකරණ සේවා කොමිසමට අවකාශ සැලසෙයි. ඉන් අනතුරැව කොමිසම විසින් විනය පරීක්ෂණයක් පැවැත්වෙනු ඇතැයි එම කොමිසමේ ආරංචි මාර්ග කියයි.

මේ අතර හඬපටවලට සම්බන්ධ දැනට සේවයේ යෙදී සිටින විනිසුරුවරුන්ගෙන් සහ විශ්‍රාමික විනිසුරුවරියගෙන්ද වහාම ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇත.