2020 ජනවාරි 11 වන සෙනසුරාදා

සුදු කැකුළු කිලෝව 110ට නගියි

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 25

I යසවර්ධන රුද්රිගු

විවෘත වෙළෙඳපොළේ මේ වනවිට සුදු කැකුළු කිලෝව රුපියල් 110 දක්වා පමණ ඉහළ නැග ඇති අතර නාඩු සහල් කිලෝවද රුපියල් 105 ඉක්මවා ගොස් ඇත. මෙම මිල තමන්ට දරාගත නොහැකි බවට පාරිභෝගිකයෝ මැසිවිලි නගති.

මෙයට එක් හේතුවක් වන්නේ ලංකා සතොස ආයතනයේ මෙම සහල් දෙවර්ගය දැනට නොමැති වීමයි. එසේම ජනතාව වැඩිපුරම ආහාරයට ගන්නට පෙළඹී ඇත්තේ සුදු කැකුළු සහල් නිසා එහි ඉල්ලුම ඉහළය.

ලංකා සතොස ආයතනය සම්බා සහල් අලෙවි කරනුයේ කිලෝව රුපියල් 87ට වන අතර, සුදු සම්බා කිලෝව රුපියල් 90ක් වෙයි. මේ සහල් දෙවර්ගය සඳහා රජය නියම කර ඇති උපරිම සිල්ලර මිල කිලෝව රුපියල් 84කි. මේ අනුව පෙනී යන්නේ ලංකා සතොසද රජයේ මිල නොසලකා සහල් අලෙවි කරන බවය. කීරි සම්බා කිලෝව රුපියල් 128 බැගින් හා බාස්මතී කිලෝව රුපියල් 198 බැගින් සතොස අලෙවි කරන නමුත් පාරිභෝගිකයන් පවසන්නේ සුපිරි වෙළෙඳසල්වල සහ විවෘත වෙළෙඳපොළේ මෙයට වඩා අඩුවෙන් මෙම දෙවර්ගය මිලට ගත හැකි බවය.

එසේම සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන පැවසුවේ 2020 ජනවාරි මාසයේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 බැගින් සහ කේක් කිලෝව රුපියල් 50කින් අඩු කිරීමට තම සංගමයේ සාමාජිකයන් කටයුතු කරන බවය. එහෙත් මේතාක් එම කෑම වර්ගවල මිල අඩුවීමක් සිදුව නැත.