2020 ජනවාරි 04 වන සෙනසුරාදා

මාලදිවයිනේ කැබිනට්ටුව ලංකාවේ රැස්වෙයි

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 357

I දේශපාලන වාර්තාකරු

මාලදිවයින් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ මේ වසරේ පවත්වන මුල්ම අමාත්‍ය මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් වාර්තාවක් තැබීය. අප වෙත ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව මෙම අමාත්‍ය මණ්ඩල හමුව ජනවාරි 01 දින පැවැත්විණි. එය පවත්වා ඇත්තේ අහුන්ගල්ල ප්‍රදේශයේ පිහිටි තරු පහේ හෝටලයකදීය.

මේ සඳහා මාලදිවයින් ජනාධිපති සහ කැබිනට් මණ්ඩල ප්‍රධානී ඊබ්‍රාහීම් මොහොමඩ් සෝලි මහතා ඇතුළු 20 දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලය සිය පවුල්වල සාමාජිකයන්ද කැටුව අහුන්ගල්ලට පැමිණ තිබේ. ඔවුන් සඳහා එකී හෝටලයේ විශේෂ පහසුකම් සහිත කාමර 27ක් වෙන්කර තිබිණි. 

මෙම අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් 20 දෙනාගෙන් 7 දෙනෙක්ම කාන්තාවෝ වෙති. එරට ආරක්ෂක අමාත්‍ය ධුරය දරන්නේද කාන්තාවක වීම විශේෂයකි. ඇය උසා මරියා අහමඩ්ය. මාලදිවයිනේ නීතිපතිවරයාද කැබිනට් සාමාජිකයකු වීම තවත් විශේෂත්වයකි.

මෙම කැබිනට් සාමාජිකයන් මෙරටට පැමිණ නිවාඩුවක් ගතකරන අතරතුර අමාත්‍ය මණ්ඩල හමුව පවත්වා ඇති බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග කියයි. මාලදිවයින් කැබිනට්ටුව නවාතැන් ගෙන සිටින තරු පහේ හෝටලයට ශ්‍රී ලංකාවේ ඇමැති ආරක්ෂක අංශයෙන් විශේෂ ආරක්ෂාවක්ද සපයා තිබිණි.