2020 ජනවාරි 04 වන සෙනසුරාදා

හපුතලේ ගුවන් අනතුරින් හතරක් මරුට

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 19

සමන්ත ප්‍රදීප් විල්තෙර l

හපුතලේ තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 සැහැල්ලු ගුවන් යානය පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට ගුවන් හමුදා මූලස්ථානය මගින් විශේෂ කමිටුවක් පත්කර තිබේ.

සිකුරාදා (3) පෙරවරුවේ රත්මලාන ගුවන් හමුදා කඳවුර සිට වීරවිල කඳවුරට ගොස් එතැන් සිට හපුතලේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක් අතරතුරදී යානය කඩා වැටී ඇත. අනතුරින් එහි ගමන්ගත් රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත ගුවන් නියමුවන් දෙදෙනකු සහ ගුවන් බුද්ධි නිලධාරීන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද සිකුරාදා පස්වරුව වනවිට මළසිරුරු 3ක් සොයාගැනීමට හැකිව ඇතැයිද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

යානය කඩාවැටුණු ස්ථානයට ආසන්න නිවෙසක සිටි කාන්තාවක් සිදුවීමෙන් කම්පනයට පත්ව රෝහල් ගතකර ඇතැයිද වාර්තා විය. අනතුරට පත් Y-12 යානය චීනයේ නිෂ්පාදිත 1987 වර්ෂයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් මිලට ගනු ලැබූ එකකි.