2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

ජනාධිපති ලේකම් වැටුප බාගෙට කපා ගනී

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 748

I දේශපාලන වාර්තාකරු

ජනාධිපති ලේකම්වරයාට මෙතෙක් ලැබුණු වැටුප් සහ දීමනා හරි අඩකින් අඩු කරගැනීමට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර තීන්දු කර ඇත. ආචාර්ය ජයසුන්දර එම තනතුරට පත්වීමට පෙර සිටි ජනාධිපති ලේකම්වරයාට මාසිකව වැටුප් දීමනා හා වරප්‍රසාද වෙනුවෙන් රුපියල් 4,50,000 (හාර ලක්ෂ පනස්දහසක පමණ) මුදලක් ලැබී තිබිණි. මේ හැර නිල වාහන 4ක් නිල නිවෙසක් ඇතුළු තවත් වරප්‍රසාදද හිමිවිය.

එහෙත් ආචාර්ය පී.බී. ජයසුන්දර එම මුදලින් 50%ක් පමණ කපා දමා තමන්ගේ නිල වැටුප් ගෙවන ලෙස ජනාධිපති කාර්යාල ගිණුම් අංශයට උපදෙස් දී තිබේ. එසේම එක් නිල වාහනයක් පමණක් තමන්ට වෙන්කරන ලෙස දන්වා ඇති හෙතෙම ජනාධිපති ලේකම්වරයාට හිමි නිල නිවෙස ලබාගැනීම ප්‍රතික්ෂේප කොට සිය පෞද්ගලික නිවෙසේ සිට රාජකාරි සඳහා පැමිණීමට තීන්දු කර ඇත.

එසේම ජනාධිපතිගේ ප්‍රධාන උපදේශක ලෙස සේවය කරන හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා එහි සේවය කරන්නේ කිසිදු දීමනාවක් නොලබමිනි. ඔහු දිනපතා නිවෙසට යාමට සහ ඒමට ප්‍රවාහන පහසුකම් පමණක් ලබාගනිමින් ස්වේච්ඡාවෙන් සේවය කරන බවද ජනාධිපති කාර්යාලය පවසයි. රාජ්‍ය සේවයේ ඉහළම රාජ්‍ය නිලධාරියා වන ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපති ප්‍රධාන උපදේශකවරයා මෙලෙස ලබාදී ඇති ආදර්ශය ඉතා කලාතුරකින් වාර්තා වන සුවිශේෂ සිදුවීමකි.