2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

සංස්කෘතික අරමුදලේ පඩිගෙවන්න අගමැති අණින් සල්ලි

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 38

I දේශපාලන වාර්තාකරු

දැනට සේවක වැටුප් ගෙවාගත නොහැකිව ආර්ථික අර්බුදයකට ලක්ව තිබෙන මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක සේවිකාවන්ගේ මාසික වැටුප් ගෙවීම සඳහා අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රැපියල් මිලියන 100ක මුදලක් හදිසියේ නිදහස් කළේය.

එම මුදල සේවක සේවිකාවන්ගේ වැටුප් ගෙවීම සඳහා පමණක් උපයෝගී කරගත යුතු බවටද නියමයක් පනවා ඇත. පසුගිය රජය සමයේ හිටපු දේශපාලන බලධරයන් මෙම දැවැන්ත අරමුදලේ එකතු වී තිබූ රුපියල් කෝටි 200 (මිලියන 2000)ක් පමණ එහි පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව වියදම් කර ඇතැයි චෝදනාවක් එල්ල වී තිබේ.

පන්සල්, පල්ලි හා කෝවිල් ප්‍රතිසංස්කරණය ආදියටද මෙමගින් මුදල් වැයකර තිබේ. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් කෝවිල් ප්‍රතිසංස්කරණයට ලබාදුන් අරමුදල් අදාළ කෝවිල් ගිණුම්වලට යවා එම ගිණුම්වලින් 10%ක් කොමිස් ලබාගත් පසුගිය රජයේ අමාත්‍යවරයකු ගැනද අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණිලි ලැබි ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සියලු ගනුදෙනු ගැන විමර්ශනය කිරීමට විශේෂ පරීක්ෂණ කොමිසමක් අද හෙටම පත් කිරීමට නියමිතය.