2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

ජනපති අපේක්ෂක ඇපය ලක්ෂ 30යි

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 414

I දේශපාලන වාර්තාකරු

ඡන්ද අපේක්ෂකයන්ගේ ඇප මුදල් ඉහළ දැමීමට අදාළ නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට යොමුකිරීමට මැතිවරණ කොමිසම තීන්දු කර ඇත. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව පිළිගත් පක්ෂවල නියෝජිතයන්ට නිල වශයෙන් දැනුම් දුන්නේය.

යෝජිත පනත් කෙටුම්පත අනුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන ස්වාධීන අපේක්ෂකයකු තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් ලක්ෂ 30 කි. එසේම ආපසු නොගෙවන රුපියල් ලක්ෂයක මුදලකුත් ඔහු තැන්පත් කළ යුතුය. එහෙත් පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු ජනාධිපතිවරණය සඳහා තැන්පත් කළ යුත්තේ රුපියල් ලක්ෂ 25ක මුදලක් පමණි. එම අපේක්ෂකයාද නැවත නොගෙවන රුපියල් ලක්ෂයක මුදලක් ගෙවිය යුතුය.

පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයකු තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් 7,500 කි. ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයකු නම් එක් අයකු වෙනුවෙන් රුපියල් 12,500ක ඇපයක් තැන්පත් කළ යුතු වේ. මෙම ඇප මුදල්වලට අමතරව නැවත නොගෙවන රුපියල් 2,500ක මුදලක් සෑම අපේක්ෂකයකු වෙනුවෙන්ම තැන්පත් කළ යුතු යැයි විධිවිධාන පනවා තිබේ.

පළාත් සභා මැතිවරණයේදී පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු රුපියල් 7,500ක්ද, ස්වාධීන අපේක්ෂකයකු නම් රුපියල් 10,000ක්ද ඇප තැබිය යුතුවෙයි. එම අපේක්ෂකයන් ද ආපසු නොගෙවන රුපියල් 2,500ක ගාස්තුවකට යටත් වෙයි.

සංශෝධිත ඇප මුදල්වලට අදාළ විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පත ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙලෙස ඇප මුදල් ඉහළ නංවන්නේ නැතිව ඉදිරි ජනාධිපතිවරණයක් පවත්වන්නට ගියහොත් සී.ආර්. පොතක් වැනි ඡන්ද පත්‍රිකාවක් නිකුත් කිරීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය. එහෙත් මෙලෙස විශාල ගණනකින් ඇප මුදල් ඉහළ දැමීම ගැන සුළු පක්ෂ ගණනාවක් විරෝධය පළ කළේය. ප්‍රධාන පක්ෂ කිසිවක් ඊට විරෝධය දක්වා නැත.

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00