2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

ඉන්දියාවෙන් ගෝඨාට ඩොලර් කෝටි 40ක්

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 154

දේශපාලන වාර්තාකරු l

එක්සත් සහ සමෘද්ධිමත් රටක් වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ලැබුණ ජනවරමේ සාධනීය අරමුණු ඉටුකර ගැනීම සඳහා ඉන්දීය රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 400  ( ‍ඩොලර් කෝටි 40 ක) ණය ආධාරයක් සපයන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට දැන්වීය.

මෙම ණය ආධාරයෙන් ඩොලර් මිලියන 50ක් මෙරට ආරක්ෂක සේවාවන් තර කිරීම සඳහා ලබාදෙන වගද ඉන්දීය නායකයා කීය.

දෙරට අතර පවත්නා සුහද මිත්‍රශීලී සබඳතා ඉහළ තලයකට ගෙන ඒමට අපේක්ෂා කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවසූ අතර ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමටද එකඟතාව පළ කළේය. තමන්ගේ ධුර කාලයේ මෙරටට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා ලෙස මෙරටට එන්නැයි මෝදි මහතාට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇරුයුමක්ද කළ බව වාර්තාවිය.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මෙරට සාමය හා සංහිඳියාව තහවුරු කරනු ඇති බවට ඉන්දීය නායකයා විශ්වාසය පලකර තිබේ. සිය ඉන්දීය සංචාරයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයශංකර් සහ එරට ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතාද හමුවිය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරැද එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දුද නිල කටයුතු සඳහා සහභාගි වූහ.