2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

ජනාධිපතිවරණ ඇප මුදල් ඉහළ දාන්න නව නීති

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 29

I හසිත් අංජන

ජනාධිපතිවරණයකදී අපේක්ෂකයන් අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වීම අධෛර්යවත් කිරීමේ අරමුණින් ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල වැඩි කිරීම සඳහා නව නීති සම්පාදනය කරමින් පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දේශයට පැවසීය.

මෙම නීතිය මැතිසබයේ සම්මත වූ පසු පාර්ලිමේන්තු මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප මුදල් ගැන ද තීරණයක් ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කිසියම් මැතිවරණයකදී අපේක්ෂකයන් වියදම් කළ යුතු මුදල් ප්‍රමාණය පිළිබඳ සීමා පැනවීමේ තවත් නීතියක් සම්මත කිරීමට තීරණය කර ඇතැයි පැවසූ රත්නායක මහතා එම අණ පනත් දැනටමත් පාර්ලිමේන්තුවට යොමුකර ඇතැයි පැවසීය. එම නීති දෙකම නව රජය යටතේ කඩිනමින් සම්මත කර දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.