2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

නව මහාධිකරණ විනිසුරුවරුන් පස්දෙනෙක් ජනපති විසින් පත්කෙරේ

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 93

අධිකරණ වාර්තාකරු Ι

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජ්‍යෙෂ්ඨ දිසා විනිසුරුවරුන් පස් දෙනෙක් මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කළේය. ජනාධිපතිවරයා ස්වකීය ධුර කාලය තුළ කරන ලද අවසන් අධිකරණ පත්වීම් මේවා බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් මහාධිකරණයට පත්කරන ලද විනිසුරුවරුන් වන්නේ ගම්පහ දිසා විනිසුරු රශ්මි සිංගප්පුලි, අධිකරණ සේවා කොමිසමේ ලේකම් විනිසුරු සංජීව සෝමරත්න, කෑගල්ල දිසා විනිසුරු සමන් කාරියවසම්, මොරටුව මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු කනිශ්ක විජේරත්න සහ පානදුර දිසා විනිසුරු නිරෝෂා ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ය. අගවිනිසුරුවරයාගේ හා නීතිපතිවරයාගේ නිර්දේශ අනුව ජ්‍යෙෂ්ඨතාව මත මෙම පත්වීම් සිදුකර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

අභිනවයෙන් පත්කරන ලද මහාධිකරණ විනිසුරුවරුන් ගිය බ්‍රහස්පතින්දා සවස ජනාධිපතිවරයා මුණගැසුන අතර ඔවුන් ඉදිරි සතියේ අග්‍ර විනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.