2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

භික්ෂූණීන් 8000කට ඡන්දය අහිමියි

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 64

I කුරුණෑගල චාන්දනී දිසානායක

භික්ෂුණින් වහන්සේලා අට දාහකට ඡන්ද අහිමිව ඇති බව සමස්ත ලංකා භික්ෂුණි බලමණ්ඩලයේ මහා ලේඛකාරි, භික්ෂුණි අධ්‍යාපන පීඨයේ කෘත්‍යාධිකාරී ආචාර්ය කොත්මලේ සුමේධා මෙහෙණින් වහන්සේ පවසති.

“ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් මූලික අයිතිවාසිකමක් වන ඡන්ද අයිතිය මෙහෙණින්නින් වහන්සේලාට අහිමි වෙලා තියෙනවා. උන්වහන්සේලා වෙනුවෙන් හැඳුනුම්පතක් නිකුත් කිරීමට මෙතෙක් කිසිදු රජයක් පියවර අරගෙන නෑ. 1997 අස්ගිරි මහා විහාරය දඹුලු පාර්ශ්වයේ මහා නායක ඉනාමලුවේ සුමංගල නායක හිමිපාණන් වහන්සේ මූලිකත්වය ඇතිව මෙරට ඇති කළ භික්ෂුණී ශාසනයේ මෙහෙණින් වහන්සේලා සහ සාමණේර වහන්සේලා මේ තත්ත්වයට පත්ව සිටිනවා.” යැයි සුමේධා මෙහෙණින් වහන්සේ කියති.

මේ වනවිට ලංකාව පුරා මෙහෙණි ආරාම 346ක් තිබුණ ද ඉන් එකක්වත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ හෝ කිසිම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ලියාපදිංචිය ලබා නැතැයි ද පවසන මෙහෙණින් වහන්සේ මේ ආරාම තුළ භික්ෂුණීන් වහන්සේලා සාමණේර වහන්සේලා අට දාහකට වැඩි පිරිසක් වාසය කරන බවත් තුන් සියයක් පමණ ජාතික හැඳුනුම්පත ලබාගෙන ඇති බවත් සඳහන් කරති. දැනට සිටින අටදාහක් පමණ භික්ෂුණීන් වහන්සේලා අතරින් 2000 පමණ උපසම්පදාව ලැබූ අය වන අතර තව හය දහසක් පමණ සාමණේර වහන්සේලා ලෙස ආරාමවල වැඩවාසය කරන බව මෙහෙණින් වහන්සේ පවසති.

රජය මගින් ලැබිය යුතු වූ වරප්‍රසාදයක් වන හැඳුනුම්පත නිකුත් නොකිරීම හේතුවෙන් භික්ෂුණින් වහන්සේලා සඳහා උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ වරප්‍රසාදය ද අහිමිව ඇති බවද කියති.