2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

ගෝඨාගෙන් සහන පැකේජයක්

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 37

I දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුවේ) ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනතාවට ඉදිරිපත් කරන විශේෂ ආර්ථික සහන පැකේජය පිළිබඳ සම්පූර්ණ තොරතුරු ඔහුගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් රටට හෙළිදරව් කෙරෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

එමගින් ජනතාවට සහනදායී බදු ක්‍රමයක්, පවත්නා බදු ගණන අඩු කිරීම, වැඩ කරන ජනතාව වෙත බලපාන විවිධ ගාස්තු සහ අයකිරීම් අවම කිරීම, දිළිඳු ජනතාවට සහ ගොවි, ධීවර ප්‍රජාවන්ට හිමිවන සහනාධාර ගැන විශේෂයෙන් දැනුම්වත් කෙරේ.

දැනට පවත්නා මූල්‍ය නීති හා රෙගුලාසි නිසා සිරවීමකට ලක්ව සිටින ව්‍යාපාරික ප්‍රජාවේ ගැටලු නිරාකරණය සඳහා වන යෝජනා ගණනක් ද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ය. එමෙන්ම අනවශ්‍ය ආනයන නතර කිරීම, ද්විත්ව බදුකරණයේ අහිතකර ප්‍රතිඵලවලට පිළියම් යොදන ආකාරය ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් අනාවරණය කෙරෙයි.

එමෙන්ම ප්‍රාදේශීය සංවර්ධනය සහ කලා සංස්කෘතික හා මාධ්‍ය විෂයෙහි බලපාන විශේෂ යෝජනා කිහිපයක් ද ඊට ඇතුළත් බව අප වෙත කරුණු දැක්වූ ප්‍රකාශකයා සඳහන් කළේය. මේ කරුණු සඳහන් ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන 25දා ප්‍රකාශයට පත් කෙරෙයි.