2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

අපේක්ෂකයන් පුම්බන අාගමික වැඩ නීතිය කැඩීමක්

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 17

I දේශපාලන වාර්තාකරු

පන්සල් පල්ලි කෝවිල් සහ දේවස්ථානවලට අයත් ආගමික කටයුතු කෙරෙන ස්ථානවල ජනාධිපතිවරණ අපේක්ෂකයන් ප්‍රවර්ධනය සඳහා රැස්වීම් පැවැත්වීම ජනාධිපතිවරණ ආඥා පනතේ 78 වැනි වගන්තිය උල්ලංඝනයක් බව මැතිවරණ කොමිසම පවසයි.

එසේම පන්සල්වල කෙරෙන බෝධිපූජා, කිතුනු පල්ලිවල කෙරෙන ඉරිදා දේවමෙහෙය, සිකුරාදා දිනවල මුස්ලිම් පල්ලිවල කෙරෙන ජුම්මා මෙහෙය හා කෝවිල්වල කෙරෙන පුදපූජාවලදී හෝ ජනාධිපතිවරණ අපේක්ෂකයන් ප්‍රවර්ධනය නොකළ යුතු බව කොමිසම පෙන්වා දෙයි.

ආගමික නායකයන් හමුවී ජනපතිවරණ අපේක්ෂකයන්ට ආගමික ආශිර්වාද ලබාගත හැකි වුවද එම ආශිර්වාදයන් පවා අපේක්ෂකත්වය ප්‍රවර්ධනයට යොදා නොගත යුතු බව මැතිවරණ කොමිසම කියයි. මේ ගැන ආගමික නායකයන්ට මගපෙන්වන උපදෙස් මාලාවක් කොමිසම විසින් ළඟදීම නිකුත් කරන බවද සඳහන් කරයි.