2017 මාර්තු 11 වන සෙනසුරාදා

අලුත් විද්‍යුත් හැඳුනුම්පත - අඩු මිල ටෙන්ඩරේ කලා වැඩිමිල ටෙන්ඩරේ අරන්

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 220


අලුත් විද්‍යුත් හැඳුනුම්පතක් මුද්‍රණයට ටෙන්ඩර්පත් ඉදිරිපත් කළ සමාගම් 12කින් අඩුම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනය ප්‍රතික්ෂේපකොට වැඩි මිල ටෙන්ඩරයට හැඳුනුම්පත් මුද්‍රණය පැවරීම ආන්දෝලනයට ලක්ව තිබේ.

වඩා හොඳ තත්ත්වයෙන් විද්‍යුත් හැඳුනුම්පතක් ලබාදීම සඳහා ඉන්දියානු ආයතනයක් සමඟ අනුබද්ධව මෙම හැඳුනුම්පත, මුද්‍රණය කිරීමට අඩුම මිල ටෙන්ඩරය ඉදිරිපත් කළ ආයතනය පියවර ගෙන තිබූ බව වාර්තාවේ. එම ආයතනය විසින් ඉදිරිපත් කළ යුතු ලියාපදිංචි සහතිකයක ඌණතාවක් හේතුවෙන් ටෙන්ඩරය ප්‍රතික්ෂේප කරන්නට සිදුවූ බව අදාළ ටෙන්ඩර් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු අපවෙත පැවසීය. මේ ගැන අඩුම මිල ටෙන්ඩරය ඉදිරිපත් කළ සමාගමෙන්ද අපි විමසීමු. එවිට එහි ජ්‍යෙෂ්ඨ නිලධරයකු කියා සිටියේ එබඳු ලියාපදිංචි ලේඛනයක් ටෙන්ඩර කැඳවීමේදී ඉල්ලා නොතිබුණු බවයි. එහෙත් පසුව කඩිනමින් ඊට අදාළ විස්තර සැපයූ බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වියානි ගුණතිලක මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ මෙම විද්‍යුත් හැඳුනුම්පත් මුද්‍රණයට එපික් ලංකා පෞද්ගලික සමාගම තෝරා ගෙන ඇති බව තමන්ට දැනුම් දී ඇති වගයි. ටෙන්ඩර්කරුවන් තෝරා ගැනීමේ ප්‍රසම්පාදන කමිටුවලට තමන්ගේ කිසිදු සහභාගීත්වයක් නොවූ බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා යම් පාර්ශ්වයකට අසාධාරණයක් සිදුවී ඇත්නම් ඒ සඳහා ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග පවතින බවද කීය.

මේ වනවිට හැඳුනුම්පත් මුද්‍රණය බාරදිය යුතු ආයතනය තීරණය කර අවසන් බවද ඔහු ප්‍රකාශ කළේය.

ව්‍යාපාරික වාර්තාකරු l