2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

එජාප ජනපති අපේක්ෂක රනිල්

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 437

ගයාන් ගාල්ලගේ I

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා (06) ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා සිය අපේක්ෂකත්වය පිළිබඳ තීරණය දැනුම් දුන්නේ අරලියගහ මන්දිරයේ පැවති එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ සාකච්ඡාවකදීය. හමුව ආරම්භයේදීම අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් සහ එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් තීරණය කර ඇති බවයි.

මෙහිදී කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු ඇමැතිවරුන් පිරිසක් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කිරීම ගැන ප්‍රකාශ කර ඇති අතර එම අදහස් පක්ෂ නායකයා විසින් පිළිගෙන නැතැයි සඳහන් වේ. මේ පිළිබඳ සාකච්ඡාවේදී එජාප සභාපති කබීර් හෂීම් සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමඟ බරපතළ විවාදයක් ඇති විය. එහිදී කිරිඇල්ල මහතා හෂීම්ට දැඩි ලෙස චෝදනා නැගීම නිසා ඔහු රැස්වීම අවසානයට පෙර සභාවෙන් ඉවත්ව ගොස් ඇත. රැස්වීම අතරතුර මැති ඇමැතිවරුන්ට කතා කළ අග්‍රාමාත්‍යවරයා සියලුදෙනා පක්ෂයේ විනය ආරක්ෂා කළයුතු බව තරයේ අවවාද කළේය.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් කරැණු දැක්වූ දයා ගමගේ, ලක්ෂ්මන් කිරිඇල්ල, අකිල විරාජ් ඇතුළු අමාත්‍යවරු පක්ෂ නායකයාගේ තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අනුමත වෙතැයි විශ්වාසය පළ කළෝය. කෙසේ වෙතත් මෙම කාරණය සම්බන්ධව නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර වෙනත් කිසිවකුගේ සහභාගීත්වයෙන් තොරව ඉරිදා - අද (08) හමුවීමක් පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීම පිළිබඳ මෙම රැස්වීමට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටියේ නැත. ඊට සහභාගී වූ ජ්‍යෙෂ්ඨයන් වූයේ ගාමිණී ජයවික්‍රම පෙරේරා, කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම, දයා ගමගේ සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුය.