2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

ශ්‍රීල.නි.ප.යේ ආරක්ෂාවට ගත් තීන්දුව පොහොට්ටුවට ප්‍රශ්නයක් නොවේ - මහින්ද රාජපක්ෂ

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 296

දේශපාලන වාර්තාකරු I

ශ්‍රී.ල.නි.පය ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව මැතිවරණ කොමිසමට දන්වා ඇත්තේ මැතිවරණ කොමිසම විසින් අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේද නැද්ද යන්න ගැන කරන ලද ලිඛිත විමසීමට පිළිතුරැ ලෙසින් යැයි තමන් දන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශයට කීය.

ශ්‍රී.ල.නි.පය ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ප්‍රකාශ කිරීම පක්ෂයක් ලෙස ගත් සාමාන්‍ය තීරණයක් බවත් තමන් එහි වරදක් නොදකින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය. තමන්ගෙන් ශ්‍රී.ල.නි.පයේ කවුරැන් හෝ කළ යුත්තේ කුමක්දැයි උපදෙසක් ඉල්ලා සිටියේ නම් පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරන්නැයි තමන් ද උපදෙස් දෙන බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් ඒ ගැන කරුණු දැක්වූ හෙතෙම එය ශ්‍රී.ල.නි.පයේ ආරක්ෂාවට ගත් පියවරක් පමණක් යැයි ද පැවසීය. ඒ කවර කතා තිබුණත් දෙපක්ෂය සන්ධාන ගතවීම සඳහා කෙරෙන සාකච්ඡා අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන ශක්තිය හා ලැබී තිබෙන නවතම දෙස් විදෙස් සමීක්ෂණ වාර්තා දත්ත අනුව පොදුජන පෙරමුණේ ජයග්‍රහණය නියත නිසා ශ්‍රී.ල.නි.පය තමන්ට පාරා වළල්ලක් විය හැකි තීරණ නොගන්නා බව හොඳටම විශ්වාස යැයි ද ඔහු සඳහන් කළේය.